FIFA සම්මේලනයට ආ ඉරාන පාපන්දු නිලධාරීන්ව කැනඩාවේ දී හරවා යවයි

FIFA සම්මේලනයට ආ ඉරාන පාපන්දු නිලධාරීන්ව කැනඩාවේ දී හරවා යවයි

April 30, 2026   02:20 pm

කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපළේදී එරට ආගමන විගමන නිලධාරීන්ගෙන් එල්ල වූ බාධා කිරීම් හේතුවෙන්, ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි ටාජ් ප්‍රමුඛ ඉරාන පාපන්දු සම්මේලන නියෝජිත පිරිස FIFA සම්මේලනයට සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇත.

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට පෙර වෑන්කුවර් හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වැදගත් හමුවට සහභාගී වීමට පැමිණි ඉරාන නිලධාරීන්, වලංගු වීසා බලපත්‍ර සහිතව පැමිණියද ගුවන්තොටුපළේදීම නැවත හරවා යවා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම තීරණයට හේතුවී ඇත්තේ ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි ටාජ් හට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමඟ පවතින බව කියන සබඳතාවය.

කැනඩාව විසින් 2024 වසරේදී IRGC සංවිධානය ‘ත්‍රස්තවාදී සංවිධානයක්’ ලෙස නම් කරන ලද අතර, එහි සාමාජිකයන්ට කැනඩාවට ඇතුළු වීම තහනම් කර ඇත.

කැනඩා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පුද්ගලික තොරතුරු රහස්‍යභාවය සුරකිමින් වුවද, IRGC නිලධාරීන්ට කැනඩාව තුළ ඉඩක් නොමැති බව සිය ප්‍රතිපත්තිය බවය. 

කෙසේ වෙතත්, කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය ඇනිටා ආනන්ද් ප්‍රකාශ කළේ මෙම සිදුවීම "නොදැනුවත්ව" සිදු වූවක් බවය.

පෙබරවාරි මාසයේදී ඉරානය සමඟ ඇති වූ දේශපාලන නොසන්සුන්තාවන් මධ්‍යයේ, මෙම සිදුවීම ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව සඳහන් වේ.

ඉරාන ක්‍රීඩකයන්ට, නිලධාරීන්ට සහ ප්‍රේක්ෂකයන්ට නිදහසේ ගමන් කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී බරපතල සැකයක් මතු වී ඇත.

FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මේ පිළිබඳව කණගාටුව පළ කර ඇති අතර, ඉදිරියේදී ඉරාන නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම වසරේ ලෝක කුසලානය කැනඩාව, අමෙරිකාව සහ මෙක්සිකෝව යන රටවල් තුනේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය.