ජනපති ට්‍රම්ප් සහ ආටෙමිස් II ගගනගාමීන් අතර හමුවක්

ජනපති ට්‍රම්ප් සහ ආටෙමිස් II ගගනගාමීන් අතර හමුවක්

April 30, 2026   06:29 am

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත.

මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා හඳුනා නොගත් පියාඹන වස්තූන්, අභ්‍යවකාශ බලකාය සහ ඉරාන යුද්ධය වැනි මාතෘකා පිළිබඳව ද අදහස් දැක්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.  

නාසා ආයතනයේ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් නිල් පැහැති ජැකට් හැඳ ජනාධිපතිවරයා හමුවීමට පැමිණ තිබුණි.

 ගගනගාමීන්ගේ දක්ෂතාව අගය කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ,

"ඔවුන් මේ දේ කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මම නම් ඒකට කැමති වෙන්නේ නැහැ, නමුත් අපේ රට ශ්‍රේෂ්ඨ කිරීමට මෙවැනි මිනිසුන් අවශ්‍යයි."

මෙහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ප්‍රමුඛතාවන් පිළිබඳවද කරුණු දැක්වූ අතර, හඳුනා නොගත් පියාඹන වස්තූන් සම්බන්ධයෙන් වර්ගීකරණය කරන ලද තොරතුරු ප්‍රසිද්ධ කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, තම පාලන කාලය තුළ තවත් අයෙකු සඳ මත ඇවිදීමට හොඳ අවස්ථාවක් ඇති බවත් ප්‍රකාශ කර ඇත.

නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් තහවුරු කළේ 2027 දී ආටෙමිස් III මෙහෙයුම දියත් කිරීමට සහ 2028 දී නැවතත් මිනිසෙකු සඳ මතට යැවීමට කටයුතු කරන බවය. 

එමෙන්ම නාසා මූලස්ථානය වොෂින්ටන් ඩී.සී. හි තබා ගැනීමටද ජනාධිපතිවරයා එකඟ විය.