ලබන වසර මුලදී විදුලි දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම්
April 29, 2026 02:39 pm
ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standerd Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එම අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් ඇති සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා පළමු අදියර වශයෙන් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ සැලසුම්, මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි අභියෝග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
