මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි

මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි

April 28, 2026   08:01 pm

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් විසි දෙදෙනා අතරින් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී තිබේ.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසි දෙදෙනෙකු අප්‍රෙල් 25 වැනිදා  මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණේ "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමගින්ය.

ඒ අනුව සැකකාර චීවරධාරීන් පිරිස මේවන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කර අතර ඊයේ දිනයේදී ඔවුන්ව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකළේය.

එහිදී අනාවරණය වී ඇත්තේ, ඉන් 19 දෙනෙකු ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවය.

මෙහිදී අත්අඩංගුවට පත් වූ ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවිසූ චීවරධාරීන් තිදෙනා පමණක් මින් පෙර තායිලන්තයේ සංචාරයක නිරතව ඇති බවත් එහිදී ඔවුන් ඇතුළුව චීවරධාරීන් 12 දෙනෙකු පමණක් ඒ සඳහා එක් ව ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

එම අවස්ථාවේදී ඔවුන් විසින් රැගෙන ආ බව පැවසෙන මත්ද්‍රව්‍ය අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක සඟවා ඇති අතර ඒ අනුව එම නිවසේ හිමිකරුවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එළැඹෙන මැයි මාසයේදී තවත් චීවරධාරීන් 40 දෙනෙකු පමණ රැගෙන ඔවුන් තායිලන්තයේ සංචාරයක් සඳහා යෑමට සූදානමින් සිට ඇති බව වාර්තා වෙයි.

මෙරට සිට මෙම ජාලය මෙහෙය වූ බව කියන ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනුලැබූ අමිතාන්ද නම් චීවරධාරියා විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට පත් වූ දින අදාළ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑම සඳහා ගුවන්තොටුපලට පැමිණියත් , අනෙක් පිරිස අත්අඩංගුවට පත් වූ පසු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් යම්කිසි මත්ද්‍රව්‍යයක් පානය කර සිට ඇති බව වාර්තා වෙයි.

මේ අතර මෙම ජාවාරම මෙරට සිටින ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකරන බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඒ අතරින් අයෙක් 'හාජි' නම් නමකින් හැඳින්වෙන පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණයෙන් නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.