දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්

April 28, 2026   07:15 pm

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි වූ නිවාස සඳහා නව ඉඩම් ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී ඊයේ (27) පැවැත්විණි.

සාකච්ඡාව සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන අමාත්‍යවරුන් එක්ව තිබුණි.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ප්‍රාදේශීය වැවිලි සමාගම්වලින් (RPC) ලබා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමය.

මෙහිදී, ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස සඳහා සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අවදානම් සහිත ඉඩම් ලෙස තහවුරු කරන ලද නිවාස වෙනුවෙන් නැවත නව නිවාස ඉදිකිරීම සඳහා රජය මගින් ලබාදීමට සැලසුම් කර ඇති ඉඩම්වලට අමතරව, ප්‍රාදේශීය වැවිලි සමාගම් සතු සුදුසු ඉඩම් ද මේ සඳහා යොදා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. 

තවද, ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් වතු ප්‍රජාව දැනට පදිංචිව සිටින වතු ආශ්‍රිත ප්‍රදේශවලින්ම ඔවුන්ට නව ඉඩම් ලබාදීම කෙරෙහි අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් ස්ථිර නිවාස ලබාදීම රජයේ ප්‍රමුඛතම කාර්යයක් බවත්, ඒ සඳහා වැවිලි සමාගම්වල සහයෝගය උපරිමයෙන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශයේ නිළධාරින්ද, ප්‍රාදේශීය වැවිලි සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.