පාර්ලිමේන්තුව සතු මුදල් බලය, මුදල් ලේකම්වරයා අවතක්සේරු කරලා - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

පාර්ලිමේන්තුව සතු මුදල් බලය, මුදල් ලේකම්වරයා අවතක්සේරු කරලා - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

April 28, 2026   01:36 pm

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (28) වන විට දින 7ක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදුකර නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසා ඇත්තේ, මුදල් බලතල සහිත පාර්ලිමේන්තුව වෙත මේ දක්වා මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු වගකිව යුතු පාර්ශවයක් විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවය.

මෙමගින් පාර්ලිමේන්තුව සතු මුදල් බලය නොතකා හැර ඇති අතර මුදල් ලේකම්වරයා විසින් එය පැහැදිලි ලෙස අවතක්සේරුවකට ලක්‌කර ඇති බවට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරයි.

මුදල් ලේකම් ඉවත් කිරීම ජනාධිපතිවරයාට නිර්දේශ නොකරන්නේ ඇයි? ලෙස ප්‍රශ්න කරමින් එම සංවිධානය විසින් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව උත්තර සොයා ගත ප්‍රශ්න 16 ක් යොමුකර තිබේ.

‍උපුටා ගැනීම - 

පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස ගරු හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමන් රාජ්‍ය නිලධාරීන්ගේ වෙතප්‍රශ්න යොමු කරනු ලබන්නේ

1. රජය ප්‍රකාශ කරන පරිදි මෙය හැකර් ප්‍රහාරයකට ලඝු කිරීමේ පදනම මත ද?

2. නැතිනම්, මෙය භාණ්ඩාගාරයේ/මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු කාන්දුවීම / පිටපත ලබාදී තිබේ ද? යන ස්ථාවරයන්ගෙන් කුමන පදනමකින් දැයි ප්‍රකාශයට පත් කළ යුතු බව අපගේ විශ්වාසයයි.

අද දින පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව විසින් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාගත යුතු බව 'ෆී ලෝයස් සංවිධානය දැඩිව විශ්වාස කරයි.

1. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අද දින රැස්වීම සඳහා සහභාගි නොවන්නේ ඇයි? ඔහු විදේශගත වීමට හේතුව කුමක් ද?

2. හැකර් සහ ස්කෑම් පිළිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන නමුත්, මහා භාණ්ඩාගාරය කොල්ලකා ඇති අවස්ථාවක මහ බැංකු අධිපතිවරයා හෝ මහ බැංකුවේ මාධ්‍ය අංශය ඒ පිළිබඳ ජන මාධ්‍යවේදීන්ගේ කිසිදු ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම මගහැර සිටින්නේ ඇයි?

3. මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සුරියප් ප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට අවස්ථා ගණනාවක දී කැඳවා ඇති නමුත් ඔහු සහ නිලධාරීන් එම අවස්ථාවන්ට සහභාගිවී නැත. අද දින ද, හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් කමිටුවට නොපැමිණෙන්නේ නම් ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කටයුතු කිරීමට මුදල් කමිටුව පියවර ගන්නේ ද? එසේ නොවන්නේ නම් ඒ ඇයි?

4.2024 අංක 33 දරණ ණය කළමනාකරණ පනත පූර්ණ වශයෙන් මේ වන විට මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරමින් තිබේද? එසේ නොකිරීමට හේතුව කුමක්ද?

5. ඉහත පනතේ 8 වන වගන්තිය අනුව ‘ණය සේවාකරණ කමිටුව පිහිටුවා තිබේ ද? නොඑසේ නම් ඒ ඇයි?

6. පනතේ වගන්ති ප්‍රකාරව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කටයුතු කර තිබේ ද? නොඑසේ නම් ඒ මන්ද?

7. විදේශ සම්පත් දෙපාර්‌කමේන්තුව මෙම ණය ගෙවීම සම්බන්ධයෙන් සිදු කරමින් සිටි කාර්ය භාරය කුමක් ද? එය මුදල් කලමනා කරණ පනතේ විධි විධාන අතික්‍රමණය කිරීමක්ද?

8. පනතේ විධි විධාන ප්‍රකාරව "රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සම්බන්ධයේ හැරු මුදල් අමාත්‍යවරයාගේ ව්‍යවස්ථාපිත වගකීම ඉටු කරමින් 'රීති' සකස් කර ඒවා නිසි පරිදි පාර්ලිමේන්තුව මගින් බලාත්මක කර තිබේද?

9. රාජ්‍යණය කලමනා කරණ දෙපාර්තමේන්තුවේ වගකීමක්වන රාජ්‍ය ණය සටහන් කිරීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද ? මේ වන විට ලබාගත් ණය සහ ගෙවන ලැබූ ණය, වාරික සහ පොලිය ප්‍රසිද්ධ කරමින් වෙබ් අඩවියක් පවත්වාගෙන නොයන්නේ ඇයි?

10.2024 දී සම්මත කරන ලද පනත බලාත්මක කර ක්‍රියාත්මක කිරීම සඳහා මේ දක්වා මුදල් අමාත්‍යාංශය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? මේ දක්වා අතපසු කර ඇති වගකීම මොනවාද?

11. පනතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව' සම්බන්ධයෙන් වන ප්‍රතිපාදනයන් පුර්ණ වශයෙන් ක්‍රියාත්ම කර තිබේ ද? එසේ නොවේ නම් ඒ මන්ද?

12. ඉහත සියළු කරුණු ආශ්‍රිකව මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය කළමනා කරණ පනත මගින් ඔවුන් වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම උල්ලංඝනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ' මුදල් කමිටුව' ගනු ලබන පියවර මොනවාද?

13. ශ්‍රී ලංකා මහ බැංකුව සහ භාණ්ඩාගාරය කිසිදු වරදක් සිදු නොවිය හැකි සර්වතෝහද්‍ර ආයතන ලෙස සලකා තවදුරටත් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව කටයුතු කරන්නේ ද?

14. රාජ්‍ය ණය කලනොකරණ පනත 8 වන වගන්තිය ප්‍රකාරව අදාළ කමිටුව පිහිටුවා නොමැති පුද්ගලයින් සම්බන්ධයෙන් ද, පනතේ රීති සකස් නොකිරීම සම්බන්ධයෙන් ද වගකීම පැහැර හැර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් මුදල් කමිටුව පියවර ගන්නේ ද?

15. මේ වන විට 148 ව්‍යවස්ථාව අනුව මුදල් බලය පැවරී ඇති පාර්ලිමේන්තුම මග හැරීම, කරුණු වසන් කිරීම, සාක්ෂි විනාශ කිරීම, අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම වැනි චෝදනා රැසක් එල්ල වී ඇති මුදල් අමාත්‍යාංශ ලේකම හර්ෂණ සූරියප්පෙරුම තාවකාලිකව හෝ එම ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඔහුගේ පත්වීම් බලධරයා වන අතිගරු ජනාධිපතිතුමන් වෙත නිර්දේශ කරන්නේ ද? එසේ නොවන්නේ නම් ඒ ඇයි?

උපුටා ගැනීම අවසන්