දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

April 28, 2026   11:29 am

'දිට්වා' සුළි කුණාටුවෙන් දැඩි බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක වන කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන ප්‍රදේශ වල ක්‍රියාත්මක අන්තර් නිවාස ව්‍යාපෘති මැයි මස මුල් සතියේ ආරම්භ කිරීමටත්, කෙටි කාලයක් තුළ නිම කිරීමටත් සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා යුද හමුදා මූලස්ථානයේදී පවත්වා තිබුණි.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ අවතැන් වූ පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත සහ ජීවත්වීමට සුදුසු නිවාසවල තාවකාලීව පදිංචි කිරීමය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු තාක්ෂණය සහ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ඇති.

මෙම මුල පිරීම රජයේ 'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.

ව්‍යාපෘතිය නියමිත වේලාවට අවසන් කිරීම සහතික කිරීම සඳහා පැහැදිලි කාලසටහනක් සහිත සවිස්තරාත්මක ක්‍රියාකාරී සැලසුමක් ඉදිරිපත් කරන ලෙසට ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විසින් යුද හමුදාවට උපදෙස් ලබා දී තිබේ.

ඉදිකිරීම් සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීමේ ක්‍රියාවලිය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහාය ඇතිව, ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව මේ වන විට සිදු වෙමින් පවතින බව සඳහන් වේ.

ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය ඉහළ නැංවීමටත්, විනිවිද භාවය, වගවීම සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ වැදගත්කම පිළිබඳවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මෙම අවස්ථාවට යුද හමුදාපති, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ආපදා කළමනා කරණ අංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA), ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRI) සහ අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයෝ සහභාගී වී ඇත.