රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණවලට බාධා

රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණවලට බාධා

April 27, 2026   10:26 pm

පිළිකා රෝගීන්ගේ සිදුකරන පෙට් ස්කෑන් පරීක්ෂණ මාර්තු 27 වෙනිදා සිට මහරගම අපේක්ෂා රෝහලේ සහ කොළඹ ජාතික රෝහල යන රජයේ රෝහල් තුළ නවතා දමා ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ,  පෙට් ස්කෑන් පරීක්‍ෂණ සිදු කිරීමට භාවිතා කරන FDG - Fluoro deoxy glucose නැමැති විකිරණශීලී රසායනිකය ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් මෙය සිදුව ඇති බවය.

එම විකිරණශීලී රසායනිකය ඉන්දියාවෙන් ගෙන ඒම සිදුකළ අතර, එම සැපයුම සිදුකරන සැපයුම්කරුට මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය යාවත්කාලීන නොකිරීම හේතු වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙතෙක් කාලයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සැපයුම ලියාපදිංචි කරන කාණ්ඩය වෙනස්කොට ඖෂධ කාණ්ඩය යටතේ ලියාපදිංචි කරන ලෙස අදාළ සමාගමට ඖෂධ නියාමන අධිකාරිය මගින් දැනුම් දී ඇති අතර ඒ අනුව අදාළ සමාගම ඔවුන්ගේ කලින් ලියාපදිංචිය අවසන් වන මාර්තු 27 දාම අධිකාරියේ අදාළ කොන්දේසි වලට අනුව ඉල්ලුම් කර ඇතත් මේ වනතෙක් එම ලියාපදිංචිය ලබාදීම සිදු කොට නොමැති බව සඳමන් වේ.

මෙම හේතුවෙන් කිසිදු සමාගමකට ලංකාවට FDG නැමැති පෙට්පෙට් ස්කෑන් සිදුකරන විකිරණශීලී රසායනික ද්‍රව්‍ය රැගෙන ඒමට හැකියාවක් ලැබී නොමැති බව සඳහන් වේ.

දැනට ලංකාවේ මහරගම අපේක්‍ෂා රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල කොළඹ යන රජයේ රෝහල් දෙකෙහි පමණක් පෙට් ස්කෑන් (PET scan) පරීක්ෂණය සිදුකරන අතර මේ වන විට මාස 04 කට වැඩි පොරොත්තු ලේඛනයක් මෙම පරීක්‍ෂණය සිදු කර ගැනීම සඳහා පවතී.

පුද්ගලික රෝහල්වලින් මෙම පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 3කට වැඩි මුදලක් වැය කළ යුතු වී ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති වීම හේතුවෙන් මෙම රසායනික ද්‍රව්‍ය ලංකාවට සැපයීම සිදුනොවන අතර ඒ නිසා පුද්ගලික අංශයෙන්ද මේ වන විට පරීක්‍ෂණය සිදු කර ගැනීමේ හැකියාවක් නොමැත.

පෙට් ස්කෑන් පරීක්ෂණය මගින්,

1. පිළිකා සෛල නිවැරදිව හඳුනා ගැනීම සහ එහි ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම
2. පිළිකා සෛල පැතිරී ඇති ප්‍රමාණය නිශ්චිතව හඳුනා ගැනීම
3. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව පිලිකා සෛල සාර්ථකව විනාශවීද යන්න තහවුරු කර ගැනීම.
නිවැරදිව සිදු කළ හැකිවේ. ඒ අනුව විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට මෙම පරීක්ෂණය ඉතා වැදගත් අත්‍යවශ්‍ය පරීක්ෂණයක් වී ඇත. 

මෙම ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට කඩිනමින් මැදිහත් වන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටී.