හිටපු ඇමති රිෂාඩ්ගේ නඩුවක අභියාචන කටයුතුවලින් විනිසුරුවරයෙකු ඉවත් වෙයි
April 27, 2026 02:13 pm
විල්පත්තුව රක්ෂිත වනාන්තර කළාප ආසන්නයේ පිහිටි රක්ෂිත වනාන්තර කපා හෙළි කොට නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනුකර තිබූ නඩුවක තීන්දුවකට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද (27) ඉවත් විය.
රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ එම අභියාචනය අද ඒ.එච්.එම්.ඩී. නවාස්, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා සඳහන් කළේ පෞද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වන බවය.
ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 09 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.
විල්පත්තු රක්ෂිත වනාන්තර කළාප ආසන්නයේ පිහිටී රක්ෂිත කැලෑ හෙළිකර එහි පුද්ගලයින් පදිංචි කිරීම අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම විභාග කොට එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය අදාළ ප්‍රදේශයේ කැලෑ හෙළි පෙහෙළි කිරීමේ කටයුතුවලට හිටපු අමාත්‍යවරයා බව කිව යුතු බවත් ඒ අනුව නැවත වන වගා කිරීම සඳහා වැයවන වියදම ඔහු විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බවටත් නියෝගයක් නිකුත් කර තිබුණි.
ඒ අනුව නැවත වන වගා කිරීමේ කටයුතු සදහා හිටපු අමාත්‍යවරයා විසින් රුපියල් කෝටි එකසිය හයක පමණ මුදලක් ගෙවිය යුතු බවටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගණනය කර තිබුණි.
මෙම අභියාචනාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවත් ඒ අනුව එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම් විභාගයෙන් මහින්ද සමයවර්ධන, යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ද මීට පෙර ඉවත් වී තිබුණි.
