පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට
April 27, 2026 10:39 am
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කළේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබුණි.
ඒ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙනි.
අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇත.
ඒ අනුව පසුගිය 25වනදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමග බහින් බස්වීමක් ඇති කර ගෙන තිබේ.
එම බහින්බස්වීම දුරදිගයාම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස තර්ජනය කර ඇති බව ද සඳහන්.
