අවුරුදු 2ක් වයසැති දැරියක්ව රුපියල් 40,000කට අළෙවිකරලා

අවුරුදු 2ක් වයසැති දැරියක්ව රුපියල් 40,000කට අළෙවිකරලා

April 26, 2026   06:53 pm

වයස අවුරුදු 02ක දැරියක් රුපියල් 40,000ක මුදලකට විකුණා එකී මුදලින් රුපියල් 15,000ක ජංගම දුරකථනයක් මිලදී ගත් මවක් සහ ඇයගේ අනියම් පුරුෂයා ධර්මපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

එමෙන්ම අදාළ දැරිය මිලදී ගත් කාන්තාවක් ද ධර්මපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

දැරියගේ මව සහ අනියම් පුරුෂයා විසින් ඇයව කොළඹ ප්‍රදේශයේ කාන්තාවකට මුදලට විකුණා ඇති බවට ධර්මපුරම් ග්‍රාම නිලධාරීවරයා විසින් පොලිස් ස්ථානයට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මෙම දැරිය තැලසීමියා රෝගයෙන් පෙළෙන අයෙකු වන බවත් ඇයට වැඩිමහල් තවත් සිව් හැවිරිදි දියණියක් සිටින අතර ඇයද එම රෝගයෙන් පෙලීම හේතුවෙන් ඇයට ප්‍රතිකාර කිරීම සඳහා මුදල් ලබා ගැනීමට අදාළ දැරියව විකුණූ බව ප්‍රශ්න කිරීම් හමුවේදී ඔවුන් පවසා ඇත.

එසේ නම් ජංගම දුරකථනයක් මිලදී ගත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව එහිදී පොලීසිය ඔවුන්ගෙන් විමසා ඇති අතර එයට ඔවුන් පිළිතුරක් ලබා නොදුන් බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

දැරියගේ මව හා අනියම් ස්වාමිපුරුෂයා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් හා 31ක් වන දෙපළක් වන අතර දැරිය මිලදී ගත් බව කියන කාන්තාව කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් වන බවද සඳහන් වේ. 

සැකකාරියන් දෙදෙනා සහ සැකකරු කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.