ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

April 26, 2026   05:02 pm

අද (26) බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අද  (26) ප.ව. 4ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.

මේ අතර, හෙට (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.