ට්‍රැක්ටර් රථයක් පෙරළී තරුණයෙකු මරුට
April 26, 2026 01:03 pm
ගලෙන්බිඳුණුවැව පොලිස්බල ප්‍රදේශයට අයත් උපුල්දෙණිය, පහලගම වැව් බැම්ම මතින් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් බැම්මෙන් පහළට පෙරළී යාමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (25) පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ කන්තලේ, වාන්ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි එහි රියදුරු ලෙස කටයුතු කළ 24 හැවිරිදි තරුණයෙකු බව ගලෙන්බිඳුණුවැව පොලීසිය පවසයි.
මියගිය තරුණයා මීට දින කිහිපයකට පෙර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයට පැමිණ ඇත්තේ ගොවිතැන් කටයුතු සඳහාය.
ඔහු උපුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් ට්‍රැක්ටර් රථයක රියදුරු ලෙස සේවය කරමින් එම නිවසේම නවාතැන් ගෙන සිට ඇති බව සඳහන් වෙයි.
අනතුර සිදුවූ දින අදාළ හිමිකරුගේ කුඹුරු සී සෑම අවසන් කර යළි නිවස බලා ට්‍රැක්ටර් රථයෙන් පැමිණෙමින් සිටියදී වැව් බැම්මෙන් පහළට පෙරළී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මියගිය තරුණයාගේ සිරුර මේ වන විට ගලෙන්බිඳුණුවැව රෝහලේ තැන්පත් කර ඇති අතර, අද (26) දින අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
