ධීවර නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් නෝර්වේ රජයෙන් AIS චන්ද්‍රිකා තාක්ෂණය

ධීවර නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් නෝර්වේ රජයෙන් AIS චන්ද්‍රිකා තාක්ෂණය

April 25, 2026   09:38 am

ශ්‍රී ලංකාවේ ධීවර නිරීක්ෂණ කටයුතු නවීන තාක්ෂණය සමඟ ශක්තිමත් කිරීමේ අරමුණින් නෝර්වේ රජය සමඟ වැදගත් එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, නෝර්වේ වෙළෙඳ, කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමඟ පසුගිය 23 වනදා ඔස්ලෝ නුවරදී විශේෂ සාකච්ඡා වට කිහිපයකට එක්වූහ. 

මෙහිදී ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීකරණය කිරීම සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.

‘බ්ලූ ජස්ටිස්’ (Blue Justice) වැඩසටහනේ ප්‍රධානී ගුනාර් ස්ටොල්ස්වික් මහතා සමඟ පැවති සාකච්ඡාවේදී, නෝර්වේ රජය විසින් ‘බ්ලූ ජස්ටිස්’ සාමාජික රටවල් වෙත ලබාදෙනු ලබන උසස් චන්ද්‍රිකා තාක්ෂණික දත්ත (AIS Data) පද්ධතිය පිළිබඳව අවධානය යොමු විය. 

ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා නිරීක්ෂණය සහ නීතිවිරෝධී ධීවර කටයුතු මර්දනය කිරීම සඳහා මෙම තාක්ෂණය නොමිලේ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. 

එසේම, මෙම තාක්ෂණය වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන් ලබාදීමටද නෝර්වේ පාර්ශවය මෙහිදී එකඟ වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි.

අනතුරුව, තිරසාර ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය ක්‍රියාකාරී ජාලයේ (Global Action Network) ප්‍රධානී අනීටා උතෙයිම් අයිවර්සන් (Anita Utheim Iversen) මහත්මිය සමඟ පැවති සාකච්ඡාවේදී, මත්ස්‍ය නිෂ්පාදනවල පෝෂණීය අගය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු විය. 

ලෝක මට්ටමේ "ආහාර පෝෂණය හා සංයුතිය පිළිබඳ කණ්ඩායමට" (Food Nutrition and Composition Group) එක්වන ලෙස ශ්‍රී ලංකාවට මෙහිදී නිල වශයෙන් ආරාධනා කළ අතර, එමගින් නාරා (NARA) ආයතනය වැනි පර්යේෂණ ආයතනවලට ජාත්‍යන්තර දැනුම හා තාක්ෂණය හුවමාරු කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් උදා වේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේ, නෝර්වේ රජය සහ ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය අතර පවතින මෙම සමීප තාක්ෂණික සහයෝගීතාවය හරහා මෙරට ධීවර කර්මාන්තය නවීන තාක්ෂණයෙන් ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්ෂේත්‍රය යාවත්කාලීන කිරීමටත් රජය උපරිමයෙන් කැපවී සිටින බවය.