පාස්කු නඩුවට අදාළව හිටපු පොලිස්පති පූජිත්ගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු නඩුවට අදාළව හිටපු පොලිස්පති පූජිත්ගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

April 24, 2026   01:47 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්ති කූඩුවේ සිට තමන් ඉකුත්දා සිදු කළ ප්‍රකාශයට අමතර කරුණු එක් කිරීමට අවසර දෙන ලෙස විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළේය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන් සමන්විත ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නේය. 

අද නඩුව කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව විත්තිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

එහිදී විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින නන්දන මුණසිංහ සහ වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගෙන් සාක්ෂි කැඳවීමට අපේක්ෂා නොකරන බව සඳහන් කළේය.

එහෙත් සිය සේවාදායකයා ඉකුත් නඩු දිනයේ විත්ති කූඩුවේ සිට ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදී කාරණා දෙකක් ඉදිරිපත් කිරීම ඔහුට මග හැරී ඇතැයි සඳහන් කළ නීතිඥවරයා එම කාරණා පිළිබඳව පැහැදිලි කිරීම සඳහා සිය සේවාදායකයාට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ විත්තිකරුවෙකුට විත්ති කූඩුවේ සිට ඉදිරිපත් කළ හැක්කේ එක් ප්‍රකාශයක් පමණක් බවය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනි... විත්තිකරු මීට පෙර දින විත්ති කූඩුවේ සිට පැය තුනකට අධික දීර්ඝ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. මෙවැනි ඉල්ලීමකට ඉඩ දුන්හොත් වැරදි පූර්වාදර්ශයක් මතුවිය හැකියි. මෙවැනි ඉල්ලීමකට ඉඩදීමට නීතිමය ප්‍රතිපාදනත් නැහැ" යනුවෙන් සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා යලි අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනි... විත්තිකරු අවසර ඉල්ලන්නේ තමන්ට මග හැරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කිරීමටයි. එය දෙවන ප්‍රකාශය ඉදිරිපත් කිරීමක් නෙවෙයි. කලින් ඉදිරිපත් කළ ප්‍රකාශයේ දිගුවක් වශයෙන් ඉදිරිපත් කිරීමටයි ඔහු අදහස් කරන්නේ. සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් එය වැදගත්" යනුවෙන් සඳහන් කර සිටියේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් " විත්තිකරු ඉකුත්  මාර්තු මස 26 වනදා විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහුට හිමි වරප්‍රසාදය භුක්ති විඳ තිබෙනවා. එදින ඔහුගේ ප්‍රකාශය අවසානයේදී ඔහු සඳහන් කළා මා අවසන් කරනවා මෙතැනින් මගේ කරුණු දැක්වීම. කරුණු දැක්වීමට අවසර දීම ගැන ගෞරවය හා ස්තුතිය පළ කරන බව ප්‍රකාශ කළා. එයින් පැහැදිලි වන්නේ ඔහුට විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට තිබෙන අවස්ථාව ඔහු සම්පූර්ණයෙන්ම භුක්ති විඳ තිබෙන බවයි. විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් ඉදිරිපත් කරන විට විත්තිකරුවකුට විශේෂ වරප්‍රසාදයක් හිමි වෙනවා. එවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කරන අවස්ථාවක විත්තිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට පැමිණිල්ලට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් මත අදාළ වරප්‍රසාදය භූක්ති විඳීමට විත්තිකරුට නැවත නැවත අවස්ථාව සලසා දීම නීතියට පටහැනි බව අධිකරණයේ මතයයි. ඊට අමතරව විත්තිකරුවකු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ඉදිරිපත් කරන අවස්ථාවක එය පාලනය කිරීමට අධිකරණයට හැකියාවක් නෑ. එසේ තිබියදී අමතර කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළත් විත්තිකරු විත්ති කූඩුවේ සිට අලුත් කරුණු ඉදිරිපත්  කළහොත් එය අධිකරණයට නැවැත්විය නොහැකියි. එම නිසා විත්තිකරු තමන්ට ලැබී ඇති එම වරප්‍රසාදය අවභාවිතා කිරීම වැළැක්වීමට අධිකරණය වග බලා ගත යුතුයි. ඒ අනුව විත්ති කූඩුවේ සිට අමතර ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස විත්තිකරු විසින් කරනු ලබන ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන බව" සභාපති විනිසුරුවරයා සිය නියෝගය ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන් අනතුරුව විත්තිකාර හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා සඳහන් කළේ තමන් තවදුරටත් විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමට අපේක්ෂා නොකරන බවය. 

ඒ අනුව විත්තිය වෙනුවෙන් සාක්කිදීම සඳහා අධිකරණයට කැඳවා තිබූ නන්දන මුණසිංහ සහ වරුණ ජයසුන්දර යන සාක්ෂිකරුවන් මුදාරීමටද අධිකරණය නියම කළේය. 

ඉන් පසුව නඩුව යළි මැයි මස 22 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින නඩුවට අදාළ දේශන ඉදිරිපත් කරන ලෙසත් දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.