අවුරුදු සමයේ ගිය වසරට සාපේක්ෂව රිය අනතුරුවල වර්ධනයක්
April 20, 2026 03:19 pm
ගතවූ අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ ගිය වසරට සාපේක්ෂව රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
අද (20) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, එම කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව මාරක රිය අනතුරු 18ක වැඩිවීමක් දක්නට ලැබෙන බවය.
"මේ මාසයේ 10 වනදා සිට 19 වැනිදා දක්වා මේ කාලය ගත්තොත් ගිය වසරට සාපේක්ෂව මාර්ග රිය අනතුරු 18ක වැඩිවීමක් තියෙනවා. අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 20ක් දක්වා වැඩිවීමක් තියෙනවා. ගිය වසරට සාපේක්ෂව බරපතළ අනතුරු ගත්තොත් 94ක වැඩිවීමක් තියෙනවා. සුළු අනතුරු ගත්තොත් 49ක වැඩිවීමක් තියෙනවා. අලාභ අනතුරු 48ක වැඩිවීමක් තියෙනවා. ඉතින් විශේෂයෙන් අපි මාධ්‍ය මගින් දැනුම්වත් කළා, ආරක්ෂක කටයුතු රාජකාරිවල යෙදුණා. එමෙහ තියෙද්දි මොවැනි තත්ත්වයක් තියෙනවා. බරපතළ මාර්ග රිය අනතුරු අඩුකිරීමට අපට සහාය දෙන්න කියලා අපි මහජනතාවගෙන් කරන ඉල්ලීම සහ රියදුරුන්ගෙන් කරන ඉල්ලීම."
