යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
April 20, 2026 11:15 am
නෙළුව - මොරවක මාර්ගයේ ලේල්වල - ගුරුදියපත මන්සන්ධිය ආසන්නයේදී අද (20) උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද උදෑසන 8.10ට පමණ ප්‍රතිවිරුද්ධ දිශාවලින් පැමිණි යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදිකරුවන් මාර්ගයේ දකුණු පසට බරව ධාවනය කිරීම අනතුරට හේතුව වී ඇති බවයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ අකුරැස්ස, පෝරඹ ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරුවෙකු සහ නෙළුව ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන තරුණයින් දෙදෙනෙකු වන අතර මොවුන් සිය සේවා ස්ථානය වෙත යමින් සිටියදී අනතුර සිදුව ඇත.
තුවාලකරුවන් නෙළුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩුගම මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.
තුවාලකරුවන් දෙදෙනෙකුගේ හිසට සහ පාදවලට හානි සිදුව ඇති අතර, අනෙක් පුද්ගලයාගේ ශරීර අභ්‍යන්තරයට හානි සිදුවී ඇතැයි සඳහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිස් රථවාහන අංශය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
