අලුත් අවුරුදු සංස්කෘතික උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී

අලුත් අවුරුදු සංස්කෘතික උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ගම්පහදී

April 14, 2026   08:18 pm

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ සිංහල දෙමිළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර සිදු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) ගම්පහදී සිදු කෙරිණි.

චාරිත්‍රානුකූලව පුණ්‍ය කාලය තුළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගම්පහ මැදගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ඇති අතර, එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, මැදගම ශ්‍රී සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරාධිපති පූජ්‍ය තුන්මෝදර සමිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

​මෙවර අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ චාරිත්‍ර කටයුතු ගම්පහ දර්ශන වීරසිංහ මහතාගේ නිවසේ පැවැතිවිණි.

එහිදී ​වැඩ ඇල්ලීමේ සුබ නැකත උදාවීමත් සමඟ නිවැසියන්ගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් නිවස පරිශ්‍රයෙහි පැළයක් රෝපණය කර තිබේ.

ඊට සමගාමීව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එම පරිශ්‍රයෙහි පැළ රෝපණය කිරීමේ  සත්කාර්යයට දායක වී තිබේ.

​අනතුරුව අග්‍රාමාත්‍යතුමිය දරුවන් සමඟ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්වල ද නිරත විය.  

සුබ නැකතට අධ්‍යාපන කටයුතුවල නියැලුණු දරුවන් සමඟ එක්වී අකුරු ලිවීමට, කියවීමට මග පෙන්වමින් දේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීමේ සුබ කර්තව්‍යය සනිටුහන් කිරීමට ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී කටයුතු කර ඇත.

අනතුරුව අගමැතිතුමිය හා අනිකුත් සම්භාවනීය අමුත්තන් නිවැසියන් සමග ගනුදෙනු කිරීම හා තෑගි හුවමාරු කිරීමේ චාරිත්‍රය ඉටු කර නිවැසියන් සමඟ ආහාර අනුභව කිරීමේ චාරිත්‍රයට ද එක් විය. 

සමස්ත රටවැසියන් වෙත අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ ඒවාට මුහුණ දී නිවැරදිව කළමනාකරණය කර ගැනීමට දායකත්වය සැපයූ දෙස් විදෙස් වෙසෙන  සියලු දෙනාට ස්තුතිය පළ කරන බව පැවසුවාය.