බීමත්ව සහ අපරික්ෂාකාරිව රිය ධාවනය නොකරන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්

බීමත්ව සහ අපරික්ෂාකාරිව රිය ධාවනය නොකරන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්

April 14, 2026   07:23 am

අවුරුදු සමයේ බීමත්ව සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය නොකරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේ අවුරුදු සමයේ සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් ද දක්නට ලැබෙන බවය.

2026 ජනවාරි පළමුවනදා සිට ගෙවුණු මාස 4ක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 713දෙනෙකු මියගොස් තිබේ.

එම මියගිය පිරිස අතරින් 248දෙනෙකුම යතුරුපැදිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මේ අතර අවුරුදු සමයේ අධිවේගී මාර්ග භාවිත කරමින් බීමත්ව සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක මෙහෙයුම් ත්‍රීව්‍ර කර ඇති බවයි රථ වාහන පාලන  සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතා පවසයි.

මේ අතර අවුරුදු උදාවත් සමග විනෝද ගමන් සහ ඥාති නිවාසවලට ගොස් අපරික්ෂාකාරී ලෙස දියනෑම් සිදු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.