බණ්ඩාරවෙල පාසලක විද්‍යාගාරයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවිය කියන සංවේදී කතාව
April 13, 2026 08:05 pm
පසුගිය මාර්තු 23 වෙනිදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ බීකරයක් පිපිරීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබූ බවට වාර්තා විය. එය පිපිරීමක් නොව ගිනි ගැනීමක් බවත් ඉන් එක් සිසුවියක් බරපතළ තුවාල ලැබූ බවත් තවත් සිසුවියක් සුළු තුවාල ලබා ඇති බවත් සඳහන් වේ. එහිදී බරපතළ තුවාල ලැබූ සිසුවිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
විද්‍යා විෂය භාර ගුරුවරිය විසින් ශාක පත්‍ර තුළ පිෂ්ඨය තිබේදැයි පරීක්ෂා කිරීමට සිසුන්ට ඉගැන්වීමට සැලැසුම් කර සිටියාය. ශාක පත්‍ර එතිල් ඇල්කොහොල් දැමූ පරීක්ෂණ නාලයක දමා ජලය දැමූ බීකරයක බහා ස්ප්‍රීතු ලාම්පුවක් ආධාරයෙන් රත් කිරීමට පියවර ගෙන ඇත.
ලාම්පුවේ තිරයට ගෑවෙන මට්ටමට පමණක් ස්ප්‍රීතු තිබීම හේතුවෙන් එහි දැල්ල භාගයට පත්තුවෙමින් තිබී ඇත. අදාළ ගුරුවරිය කතුරක් ආධාරයෙන් ලාම්පු තිරය එළියට ඇද ලාම්පුවට ස්ප්‍රීතු පිරවීමට කටයුතු කර තිබේ. එම අවස්ථාව වනවිටත් තිරය පත්තුවෙමින් තිබීම නිසා එය ඉතා සුළු වේලාවක් තුළ ගිනිගෙන තිබේ. ඉන් බියට පත් වූ ගුරුවරිය ස්ප්‍රීතු අඩංගු කෑන් එක තුවාල ලබා රෝහල් ගතව සිටි සිසුවිය සිටි දෙසට විසි කර තිබේ.
ඒ සමඟම සුදු පාට දුමක් මතුවී ඇති බැවින් ඉන් අනතුරුව ගිනි ගැනීමක් සිදු වනු ඇතැයි බියට පත් වූ මෙම සිසුවිය නැගිට දිව යාමට උත්සහ කළ ද ඇයගේ පාදය සිරවී තිබී ඇත. කෙසේ හෝ පාදය ඉන් මුදාගෙන විද්‍යාගාරයෙන් පිටතට පැමිණෙන විට තමන්ගේ පාසල් නිලඇඳුමේ කොලරය ගිනි ගැනීමට ලක්ව ඇති බවට ඇයට අවබෝධ විය. ඇය උදව් ඉල්ලා කෑගැසුවාය. ඇයට කිසිදු පිහිටක් හිමි වූයේ නැත. ඒ අසළ තිබූ බුද්ද ගස අසලට දිව ගිය ඇය එහි වූ දල්ලක් කඩාගෙන ගින්න නිවීමට ඇය උත්සහා කළාය.
මෙම සිද්ධිය දුටු ගුරුවරියක් විසින් අදාළ සිසුවියගේ නිල ඇඳුම ඉරා දමා තිබුණේ, ඇයගේ මුළු සිරුරම ගිනි ගැනීම වැළැක්වීමේ අරමුණෙන්ය. ඉතිහාසය විෂය භාර ගුරුවරියගේ සාරි පොටට ආවරණයවී සිටි සිසුවියව තවත් ගුරුවරියක් විසින් මේස රෙද්දකින් ආවරණය කර තිබේ.
මේ සිද්ධියෙන් තවත් සිසුවියක් තුවාල ලබා ඇති බවට ද අදාළ ගුරුවරිය දැනගනු ලබන්නේ බණ්ඩාරවෙල රෝහලට යන අතරවාරයේදීය. දෙවන සිසුවියට ඉතා සුළු තුවාල සිදුව තිබූ බවට සඳහන් වේ.
මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අදාළ සිසුවියව බදුල්ල රෝහලට මාරු කර යවා ඇත. මෙම මූලික ප්‍රතිකාර කිරීමට පෙර සිසුවියගේ තුවාල ඡායාරූප ගැනීමක් සිදු කළ යුතු වූවත් බණ්ඩාරවෙල රෝහල විසින් එය මඟහැර ඇති බවට තුවාල ලැබූ දැරිවියගේ මව චෝදනා කරයි. සිසුවියගේ ප්‍රතිකාර සඳහා යන සියලු වියදම් තමන් විසින් දරන බව ඇය ප්‍රකාශ කර ඇතත්, මේ වනවිට ඇය පොරොන්දු ඉටු නොකරන බවට ද දැරිවියගේ මව චෝදනා කරයි.
බදුල්ල රෝහලෙන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම සිසුවිය කොළඹ ජාතික රෝහල වෙත වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා මාරු කර යැවිණි. මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඇයගේ මුහුණ, බෙල්ල සහ අත්වල ගැඹුරු තුවාල පවතියි. එම තුවාල සඳහා තවත් සැත්කමක් කිරීමට නියමිතව තිබුණ ද මේ වනවිට ඇය ඩෙංගු රෝගයට ගොදුරුවී සිටියි. ඒ අනුව පිළිස්සුම් තුවාලවලට ගනු ලබන ප්‍රතිකාරවලට අමතරව ඇයට ඩෙංගු රෝගය සඳහා ද ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇත. ඩෙංගු රෝගයෙන් සුවය ලැබූ පසුව පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.
