ලෙබනනය පුරා ඊශ්‍රායලයෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්
April 8, 2026 08:27 pm
ලෙබනනය පුරා ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් රට පුරා විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.
රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී පවතින අතර, කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් යට බොහෝ පිරිසක් සිරවී සිටින බවට විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊශ්‍රායලය මෙය හඳුන්වනු ලැබුවේ මෙම ගැටුමේ මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ලෙසයි.
විනාඩි 10ක් ඇතුළත හිස්බුල්ලා සංවිධානයට අයත් විධාන මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු 100කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කළ බව ඔවුන් පවසයි.
බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශ, දකුණු ලෙබනනය සහ නැගෙනහිර බෙකා නිම්නය මෙම ප්‍රහාරවල ඉලක්ක බවට පත් විය.
අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් සඳහා මැදිහත් වූ පකිස්තානය ප්‍රකාශ කළේ එම එකඟතාවය ලෙබනන් ගැටුමට ද අදාළ වන බවය.
කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම ප්‍රහාර මාලාව එල්ල විය.
ලෙබනන් ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ "ලෙබනනය කලාපීය සාමය සඳහා වන ක්‍රියාවලියට ඇතුළත් කිරීමට" තවදුරටත් උත්සාහ කරන බවය.
හිස්බුල්ලා සංවිධානය ද මෙය "ඓතිහාසික ජයග්‍රහණයක්" ලෙස හඳුන්වමින්, නිල සටන් විරාමයක් ප්‍රකාශ කරන තෙක් නිවෙස් බලා නොයන ලෙස අවතැන් වූ පවුල්වලින් ඉල්ලා සිටියි.
පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ මෙම යුද්ධයේ මුල් අවධියේදී ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම ගැටුම් උත්සන්න විය.
නිරීක්ෂකයින් පවසන්නේ හිස්බුල්ලා සංවිධානය දුර්වල වී ඇතැයි උපකල්පනය කළ ද, ඔවුන් සතු යුද ශක්තිය විශ්මයජනක බවය.
කෙසේ වෙතත්, ලෙබනනය අනවශ්‍ය යුද්ධයකට ඇද දැමීම සම්බන්ධයෙන් එරට තුළම හිස්බුල්ලා සංවිධානයට දැඩි විවේචන ද එල්ල වෙමින් පවතී.
පවතින උග්‍ර තත්ත්වය හමුවේ ලෙබනන් රජය ඓතිහාසික ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් ඊශ්‍රායලය සමඟ සෘජුව සාකච්ඡා කිරීමට සූදානම් බවය.
මෙම රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති පසුබිමක මෙය විශේෂ අවස්ථාවකි. එහෙත්, ඊශ්‍රායලය මෙතෙක් එම යෝජනාවට ප්‍රතිචාර දක්වා නොමැත.
පාසල් සහ පොදු ස්ථාන අවතැන් වූවන්ගෙන් පිරී පවතින අතර, ආහාර සහ නවාතැන් සම්බන්ධයෙන් ලෙබනනය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇත.
