හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කරයි

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කරයි

April 8, 2026   01:30 pm

අමෙරිකානු - ඉරාන සටන්විරාමය නිවේදනය කිරීමෙන් අනතුරුව හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල හමුදාවට සහ එම භූමියට එල්ල කරන ප්‍රහාර නවත්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසු, අද (08) උදෑසන සිට හිස්බුල්ලා සංවිධානය මෙලෙස ප්‍රහාර නතර කර තිබේ.

හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර නතර කළද, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ජනතාවට ඉවත් වන ලෙස තවමත් නියෝග නිකුත් කරමින් සිටින බව සඳහන් වෙයි.

ඊශ්‍රායලය පවසන්නේ මෙම සටන් විරාම ගිවිසුමට ලෙබනනය ඇතුළත් නොවන බවයි.

මෙම සටන් විරාමය පිළිබඳව සහ "ලෙබනනය මෙයට ඇතුළත් නොවේ" යන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය ඉදිරියේදී නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.