මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

April 5, 2026   07:19 am

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (05) දින 37ක් ගත්වී තිබේ. 

---------------------------

Update 09.40 PM

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉරානයට නියමිත තරග ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉවත් කර මෙක්සිකෝවට ලබා නොදුන්නහොත්, ඉරානයේ සහභාගීත්වය අවිනිශ්චිත වනු ඇති බව එරට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

-------------------

Update 09.25 PM

පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළේ ඇති වී තිබෙන කැළඹිලි සහගත තත්ත්වය හමුවේ, OPEC+ තෙල් සංවිධානයේ සාමාජික රටවල් අටක් ලබන මැයි මාසයේ සිට දෛනික තෙල් නිෂ්පාදන කෝටාව බැරල් 206,000කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.
-------------------

Update 09.00PM

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කරනු ලබන්නේ යුද්ධයෙන් සිදු වූ හානි සඳහා වන්දි ලබා දීමෙන් පසුව පමණක් බව ඉරාන ජනාධිපති කාර්යාලයේ සන්නිවේදන නියෝජ්‍ය නිලධාරී සෙයියඩ් මෙහ්දි තබතබායි (Seyyed Mehdi Tabatabaei) පවසයි.
------------------

Update 08.45PM

දකුණු ඊශ්‍රායලයේ ඩිමෝනා (Dimona) ප්‍රදේශය අසල පිහිටි ඛනිජ රසායනික කර්මාන්තශාලා ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව ප්‍රකාශ කර තිබේ. 

මෙම ප්‍රහාරය එල්ල වූ ඩිමෝනා ප්‍රදේශය වඩාත් වැදගත් වන්නේ ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය (Nuclear facility) ද එහි පිහිටා තිබීම හේතුවෙනි.
------------------

Update 08.15PM

කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල් තානි සහ කුවේට් විදේශ අමාත්‍ය ෂෙයික් ජාරා ජාබර් අල්-අහමඩ් අල්-සබා අතර කලාපීය තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෑතකදී කුවේට් බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ ප්‍රහාර පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
------------------

Update 08.00PM

ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ නවතම දත්තවලට අනුව, පසුගිය මාර්තු 2 වෙනිදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 1,461 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 4,430 දෙනෙකු තුවාල ලබා ඇත.

------------------

Update 07.40PM

ඉරානයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි අහ්වාස් (Ahvaz) ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කරයි.

------------------

Update 07.20PM

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වන විට ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

------------------

Update 06.45PM

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය තුළ, බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර පිළිබඳව OPEC+ තාක්ෂණික කමිටුව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

එම ප්‍රකාශයට අනුව, බලශක්ති මධ්‍යස්ථානවලට හානි සිදු වූ විට ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර ඒ සඳහා ගතවන දීර්ඝ කාලය හේතුවෙන් ලෝක බලශක්ති සැපයුමට බරපතල බලපෑම් එල්ල වන බව සඳහන් වේ.
------------------

Update 06.15PM

ලෙබනනයේ බීරූට් අගනුවර දකුණුදිග ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන් රාජ්‍ය පුවත් ඒජන්සිය (NNA) වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව, මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා ඇත.
---------------------------

Update 05.50PM

දකුණු ලෙබනනයේ ක්ෆාර් හට්ටා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් ලෙබනන් හමුදා සෙබළෙකු මියගොස් ඇති බව ලෙබනන් හමුදාව නිවේදනය කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වන සෙබළෙකි.

---------------------------

Update 05.05PM

ඉරානය පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධිය 'Internet blackout)' ලොව කිසිදු රටක මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික මට්ටමේ අන්තර්ජාල තහනම බවට පත්ව ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks පවසයි.

මෙය මීට පෙර ලොව පුරා වාර්තා වූ එවැනි සියලුම සිදුවීම් අභිබවා ගොස් ඇති බව සඳහන් වේ.

NetBlocks ආයතනයට අනුව, මෙම අන්තර්ජාල බිඳවැටීම මේ වන විට අඛණ්ඩව 37 වන දිනටත් ක්‍රියාත්මක වන අතර, එය පැය 864ක් සම්පූර්ණ කර තිබේ.

-------------------------------

Update 04.26PM

ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි තම ගුවන් නියමුවා මුදාගත් බවට, අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉරානය පවසයි.

ජනපති ට්‍රම්ප් සිය 'ටෘෘත්' ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ, ඉරානය විසින් ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි ගුවන් නියමුවා සිය හමුදාවන් මුදාගත් බවය.

කෙසේ නමුත් ඉරානයේ හමුදා මූලස්ථානය උපුටා දක්වමින් එරට තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇත්තේ, ගුවන් නියමුවා ගලවා ගැනීමේ අමෙරිකානු මෙහෙයුම අසාර්ථක වූ බවය.

---------------------------

Update 04.05PM

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා මුහුදු ගමනාගමනය බාධාවකින් තොරව සහ ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඕමාන් සහ ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

-----------------------

Update 03.45PM

ලෙබනන් අගනුවර වන බේරූට්හි පිහිටි හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
 

----------------------------

Update 03.10PM

බේරූට් නගරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල වී තිබේ.

---------------------

Update 02.30PM

ඉරානයේ දකුණු දිග කොගිලුයේ සහ බෝයර්-අහමඩ් පළාතේ එල්ල වූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගොස් ඇති බව එම පළාතේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබේ.

----------------------------

Update 02.00PM

බහරේනයේ කම්හලකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් එහි ගින්නක් හටගෙන ඇති අතර, පසුව එය පාලනය කර නිවා දැමීමට බලධාරීන් සමත්ව ඇත.

--------------------------

Update 01.10PM

වත්මන් කලාපීය අස්ථාවරත්වයට සහ එහි ගෝලීය බලපෑමට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය වගකිව යුතු බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

---------------------

Update 12.55PM

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල යුද නැවක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල එල්ල කර තිබේ.

මෙම කණ්ඩායම පවසන්නේ තම සටන්කාමීන් විසින් ලෙබනන වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 68ක් දුරින් පිහිටි ඊශ්‍රායල යුද නෞකාවක් ඉලක්ක කළ බවය.

---------------------

Update 12.20PM

දකුණු ලෙබනනයේ කෆර් හට්ටා නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පිරිස අතර කුඩා ළමුන් තිදෙනෙකු ද වන බව සඳහන්.

---------------------------

Update 11.49AM

නිරිතදිග ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබේ.

-----------------------

Update 11.40AM

ගාසාහි මගාසි සරණාගත කඳවුරේ පිවිසුම අසලට ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. 

--------------------------

Update 11.15AM

දකුණු ලෙබනනයේ ටයර් දිස්ත්‍රික්කයේ සිදිකීන් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ගුවන් ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ලෙබනනය තුළ මේ වන විට 1,400කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මිලියනයකට අධික ජනතාවක් අවතැන් වී තිබේ.
----------------------

Update 10.55AM

දකුණු ඉස්ෆහන් කලාපයේ අතුරුදන් වූ නිලධාරියා සෙවීමේ නිරතව සිටි අමෙරිකානු ගුවන් යානයක් තමන් විසින් වෙඩි තබා බිම හෙළු බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය පවසයි.

අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයා මුදාගත් බවට ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කරන අතරතුරදීම ඉරානය මෙම පුවත වාර්තා කර ඇත.

-----------------------

Update 10.30AM

ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි, අමෙරිකානු ගුවන් නියමුවා මුදාගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, එහිදී දරුණු වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව ද වාර්තා වේ. 

පසුගිය සිකුරාදා F-15E Strike Eagle යානය කඩා වැටීමෙන් පසු අමෙරිකාව විසින් ඉතා කඩිනම් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. 

-----------------------

Update 10.00AM

ගෝලීය බලශක්ති අර්බුදය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියානු මුදල් අමාත්‍ය කූ යුන්-චියෝල් ගල්ෆ් කලාපීය රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් හමු වී ඇති බව එරට මුදල් අමාත්‍යාංශය පවසයි.

-----------------------

Update 09.45AM

ඉරානය තුළ කඩා වැටුණු F-15E යානයේ අතුරුදන් වූ ගුවන් නියමුවා සිටින ස්ථානය රාත්‍රී කාලයේදී හඳුනාගෙන ඇති බවත්, ඔහු මුදාගැනීමේ මෙහෙයුමක් දියත් වූ බවත් එක්සත් ජනපද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, එහිදී දරුණු වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ. 

එමෙන්ම ගුවන් නියමුවා ඉරාන භූමියෙන් පිටතට පැමිණ නොමැති අතර, පවතින සක්‍රීය ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එම පුද්ගලයාට මෙන්ම මුදාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ සෙසු පිරිසට ද තවමත් දැඩි අනතුරක් පවතී.

-------------------------------

Update 09.20AM

අතුරුදහන් වූ ගුවන් නියමුවා සොයාගෙන ඇති බවත්, ඔහු මුදාගත් බව තහවුරු වී ඇති නමුත් ඔහු තවමත් ආරක්ෂිත නොවන බවත් එක්සත් ජනපද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ මුදා ගැනීමේ කණ්ඩායම ඉරානයෙන් සාර්ථකව පිටවී නැවත ආරක්ෂිත ස්ථානයක් කරා ළඟා විය යුතු බවය.

----------------

Update 08.50 | බිම හෙළන ලද අමෙරිකානු ගුවන් හමුදාවට අයත් F-15E යානයේ සිටි ගුවන් නියමුවා බේරාගෙන ඇති බව අමෙරිකාවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අල්- ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

-----------

Update 07.15 | ඊශ්‍රායලය විසින් ඉරානයේ මහ්ෂහර් ඛනිජ රසායනික කලාපය ඉලක්ක කර ගනිමින් එල්ල ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 170 දෙනෙකු තුවාල ලබා තිබේ. 

-----------

Update 06.50 | විරුද්ධවාදීන්ට සහාය පළ කරන ඉහළ පෙළේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක්ගේ වත්කම් අත්පත් කරගැනීමට සහ බැංකු ගිණුම් අත්හිටුවීමට ටෙහෙරාන් අභිචෝදක කාර්යාලය නියෝග කර තිබේ.
-----------

Update 06.35 | ජපානයේ තවත් නෞකාවක් ඉතා ආරක්ෂිතව හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති අතර එරටට අයත් තවත් නෞකා 45ක් පමණ එහි සිරවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
-----------
Update 06.30 | මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ඊජිප්තුවේ විදුලිබිල ඉහළ දැමීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පැවසීය.