සහෝදරත්වයෙන් හා සාමයෙන් රට ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතුයි - අග්‍රාමාත්‍යවරිය

සහෝදරත්වයෙන් හා සාමයෙන් රට ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතුයි - අග්‍රාමාත්‍යවරිය

April 5, 2026   06:56 am

සියලු භේදයන් දුරු කර, සහෝදරත්වයෙන් හා සාමයෙන් යුත් එක් මානව පවුලක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, පාස්කු දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි. 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානයවීම පාස්කු දිනය ලෙ‍ස ​කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබයි.

​මරණයෙන් පසු නැවත උත්ථානය වූ ක්‍රිස්තුස් වහන්සේ ලෝකයාට ලබා දුන් පණිවුඩය වන්නේ, අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බවය.

​අපගේ ජීවිත තුළ විවිධ අභියෝග, දුක් වේදනා හා බාධක පැමිණීම ස්වභාවිකය. 

එහෙත්, කිසිදු අඳුරු රාත්‍රියක් ස්ථිර නොවන බවත්, සෑම අභියෝගයකටම පසු බලාපොරොත්තුවේ අරුණෝදය උදාවන බවත් පාස්කු පණිවුඩය අපට සිහිපත් කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එය ජීවිතය අලුතින් ආරම්භ කිරීමටත්, අත් නොහරින අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යාමටත් අපව දිරිමත් කරන බව හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

පාස්කු දින සැමරුම් සිදු කළ ද මැද පෙරදිග කලාපයේ පවතින අවාසනාවන්ත යුදමය තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩා විඳින බවද අමතක නොකළ යුතුය. 

වෛරය සහ ගැටුම් වෙනුවට සාකච්ඡාව සහ අවබෝධය රජයන, යුද බිය පහව ගිය සාමකාමී ලෝකයක් උදාවේවායි ශුද්ධ වූ පාස්කු දිනයේ ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.

ක්‍රිස්තුස් වහන්සේ වදාළ ප්‍රේමයේ සහ සාමයේ පණිවුඩය පෙරදැරි කරගෙන, අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් හා සමාවදීමේ උදාර ගුණයෙන් පෝෂණය කර ගත යුතු බව එහි වැඩිදුරටත් දැක්වෙයි.