කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරුදින අදයි

කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරුදින අදයි

April 5, 2026   06:21 am

ලොව පුරා කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ.

ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් කිතුනු ජනතාව පාස්කු ඉරිදා දිනය ඉමහත් භක්තියෙන් සමරනු ලැබේ.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින තුනකට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍ය ලෙස කිතුනුවන් සමරනු ලබන අතර ජේසුස් වහන්සේ දුක විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණු ජනතාව විවිධ වත් පිළිවෙත් සිදුකරමින් ගතකළ දින 40ක කාලයද පාස්කු ඉරු දිනයෙන් අවසන් වේ.

ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථානය වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවද බයිබලයේ සදහන් වේ.

අදට යෙදී ඇති පාස්කු මංගල්‍ය වෙනුවෙන් "ආලේ ලුයියා" සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් ඊයේ රාත්‍රියේ සෑම දේවස්ථානයකදීම පැවැත්විණි.

අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේවමෙහෙය පැවැත්වුණේ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදීය.

මේ අතර පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවැත්වෙන දිව්‍ය පූජා සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ක්‍රියාත්මක කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ද මෙම ආරක්ෂිත මෙහෙයුම් සඳහා යොදවා ඇති බවය.

මේ හේතුවෙන් අනවශ්‍ය බියකින් තොරව කිතුනු ජනතාවට තම ආගමික වතාවත් සිදුකිරීමට හැකියාව උදා කර ඇති බවද ජූඩ් ක්‍රිසන්ත පියතුමන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.