මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
April 3, 2026 06:00 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (03) දින 35ක් ගතවී ඇත.
----------------------------------
UPDATE - 2.51 PM
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කළහොත්, මුළු මැදපෙරදිග කලාපය පුරාම ඇති අමෙරිකානු ඉලක්ක වෙත පහර දෙන බවට ඉරාන හමුදාව අනතුරු අඟවා ඇත.
-------------------------------
UPDATE - 2.10 PM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන ගෑස් සැකසුම් මධ්‍යස්ථානයක් වන 'හබ්ෂාන්' (Habshan) ගෑස් සැකසුම් මධ්‍යස්ථානයේ ගින්නක් හේතුවෙන් එහි වැඩකටයුතු තාවකාලිකව නතර කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එරටට එල්ල වූ ප්‍රහාරයක් අහසේදීම විනාශ කිරීමට යාමේදී එහි සුන්බුන් වැටීම හේතුවෙන් මෙම ගින්න ඇති වූ බව සඳහන් වෙයි.
--------------------------------
UPDATE - 2.00 PM
කුවේට්හි පිහිටි 'මිනා අල්-අහ්මදි' (Mina al-Ahmadi) තෙල් පිරිපහදු වරායට මීට පැය කිහිපයකට පෙර නැවතත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව කුවේට් පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.
ගෙවුණු සති දෙක තුළ මෙම ස්ථානයට ප්‍රහාර එල්ල වූ තෙවන අවස්ථාව මෙයයි.
-----------------------------
UPDATE - 1.54 PM
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ප්‍රංශය සහ දකුණු කොරියාව සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
----------------------------------
UPDATE - 1.30 PM
ඊයේ (02) එල්ල වූ ඉරාන ප්‍රහාරයක් හේතුවෙන් කුවේටයේ පිහිටි විදුලි බල සහ ජල පිරිපහදු මධ්‍යස්ථානයක කොටසකට හානි සිදුව ඇති බව කුවේට් බලධාරීන් පවසයි.
------------------------------
UPDATE - 1.05 PM
මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට 'බරෑරුම්' ප්‍රවේශයක් අවශ්‍ය බවත් ඒ සඳහා ඔහු විසින් දෛනිකව පරස්පර ප්‍රකාශ සිදු නොකළ යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.
දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු ප්‍රකාශ කළේ, යුද්ධය ප්‍රදර්ශනයක් නොවන අතර එය ගැටුම් සහ සාමය මෙන්ම පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ජීවිත සම්බන්ධ කරුණක් බවය.
-----------------------------
UPDATE - 1.06 PM
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවලට අනුව, පසුගිය පැය 24 ක කාලය තුළ ප්‍රහාර හේතුවෙන් එරට පුද්ගලයින් 148 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.
-------------------------------
UPDATE - 12.55 PM
ඉරානයේ බුෂෙහ්ර් (Bushehr) පළාතේ පිහිටි රතු කුරුස සංවිධානයේ සහන ද්‍රව්‍ය ගබඩාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එම සංවිධානය නිවේදනය කර ඇත.
-------------------------------
UPDATE - 12.05 PM
සිය හමුදාව විසින් තවමත් ඉරානයේ සෙසු දෑ විනාශ කිරීමට ආරම්භ කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, ඉරානයේ පාලම් විනාශ කිරීමෙන් අනතුරුව විදුලි බලාගාර විනාශ කරන බවය.
--------------------------------
UPDATE - 11.08 AM
ඉරානය අගනුවර වන ටෙහෙරානය සහ බටහිර දෙසින් පිහිටි කරාජ් නගරය යා කරන මහාමාර්ග පාලම ඉලක්ක කර ඊයේ (02) එල්ල වූ ප්‍රහාරයකින් මියගිය පිරිස 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රහාරයෙන් පාලමේ කොටසක් විනාශවී ඇති අතර තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.
--------------------------------
UPDATE - 10.12 AM
ගල්ෆ් කලාපය ස්ථාවර කිරීමට ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් පවසා තිබේ.
----------------------------------
UPDATE - 08.30 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දැඩි නව තර්ජන මාලාවක් එල්ල කර තිබේ.
ඔහු පවසා ඇත්තේ ඉරානයේ යටිතල පහසුකම් විනාශ කිරීම තවමත් ආරම්භ කර නොමැති බවයි.
--------------------------------
UPDATE - 06.48 AM
අමෙරිකානු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී Randy George හට අමතරව, තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකුද සිය තනතුරුවලින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
----------------------------------
UPDATE - 06.10 AM
අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩි සිය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාකළේ, පෑම් බොන්ඩි වෙනුවට නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරන බවට ජනාධිපති ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර ඇති බවය.
පෑම් බොන්ඩි පෞද්ගලික අංශයේ නව රැකියාවක් සඳහා යොමු වීමට නියමිත බැවින් ඇය සිය ධුරයෙන් ඉවත් වන බව ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබේ.
නීතිපති ධුරය සඳහා පත් කර ඇති ටොඩ් බ්ලැන්ච්, දක්ෂ හා ගෞරවාන්විත නීතිඥයෙකු බව ට්‍රම්ප් පවසන අතර, ටොඩ් බ්ලැන්ච් මීට පෙර ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයෙකු ලෙස ද කටයුතු කර තිබුණි.
----------------------------------
UPDATE - 05.55 AM
ගෙවී ගිය පැය 24 තුළ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර පහක් දියත් කළ බව ඉරාකයේ ක්‍රියාත්මක වන "සරයා අව්ලියා අල්-දම්" Saraya Awliya al-Dam සන්නද්ධ කණ්ඩායමක් පවසයි.
එමෙන්ම Islamic Resistance in Iraq සංවිධානය සඳහන් කරන්නේ, ඔවුන්ගේ සටන්කාමීන් පසුගිය ගෙවී ගිය 24ක කාලය තුළ ඉරාකය සහ කලාපය පුරා පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් 23ක් ක්‍රියාත්මක කළ බවය.
මෙම ප්‍රහාර සඳහා ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් යොදා ගත් බවද එම කණ්ඩායම් විසින් ප්‍රකාශ කර ඇත.
----------------------------------
