වැටලීමකට ගිය පොලීසියේ 7කට බඹර ප්රහාරයක්
April 1, 2026 03:15 pm
කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලීසියේ නිළධාරීන් 07 දෙනෙකු අද (01) බඹර ප්රහාරයක් එල්ල වී ඇත.
රක්ෂිතය තුල ගමන් කිරිමේදී ගසක බැද තිබූ බඹර කුඩුවක් පවතින අධික වියලි කාලගුණයත් සමග ඇවිස්සී එම වැටලීමට ගිය කොත්මලේ පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරීන් 07 දෙනෙකුට මෙලෙස බඹරුන් දෂ්ඨ කර තිබේ.
බඹරුන් දෂ්ඨ කිරීමෙන් පොලිස් නිළධාරීන් තුවාල ලබා ඇති බව කොත්මලේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා පවසා තිබේ.
වැටලීමට ගිය පොලිස් නිළධාරීන්ට බඹර ප්රහාරයක් එල්ල වී ඇති බවට ලද තොරතුරක් මත 1990 සුවසැරිය ගිලන් රථ දෙකක් එම රක්ෂිතය ආසන්නයට ගෙන්වා තුවාලකරුවන් 07 දෙනාගෙන් දෙදෙනෙකු කොත්මලේ ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබේ.
බරපතල තත්ත්වයේ සිටි පොලිස් නිළධාරින් 5 දෙනෙකු නුවරඑලිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසා තිබේ.
මේ අතර බඹර ප්රහාරයට ලක් වූ පොලිස් නිළධාරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද නුවරඑලිය දිස්ත්රික් රෝහලේ නිළධාරියෙකු පවසා ඇත.
