රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇමති නලින්දගෙන් සැර පිළිතුරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇමති නලින්දගෙන් සැර පිළිතුරක්

March 31, 2026   04:10 pm

රජය විසින් විධිමත් ස්ථානමාරු ක්‍රියාවලියක් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධව මාධ්‍යවේදියෙකු අද (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන මැයි 10 දිනවනවිට ස්ථාන මාරු කිරීමට වෛද්‍යවරුන් 6,000ක ප්‍රමාණයක් සිටින බවය.

එමෙන්ම සිදුකරමින් පවතින ස්ථානමාරු ක්‍රියාවලිය තුළින් අදාළ සංගමේ ක්‍රියකලාපයන් තුළ අසාධාරණයට ලක්වූ වෛද්‍යවරුන් රැසකට සාධාරණයක් වෙමින් බවතින බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

"මැයි 10 වෙනකොට ස්ථානමාරු කිරීමට නියමිත වෛද්‍යවරුන් 6,000ක් පමණ මාරු වීමට නියමිතයි. ඒක පෙබරවාරි පළවෙනි සතියේ පටන් ගත්තේ. මේ ආකාරයට විධිමත් ක්‍රියාවලියක් පසුගිය වසර 13නේම සිදුවෙලා තිබුණේ නෑ. ඔය ට්‍රාන්සර් බෝඩ්වල හිටියායි කියලා කිව්වාට ඒ සංගමයේ සාමාජිකයෝ සමහර තැන්වල අවුරුදු 13-17 හිටියා. අක්ෂි රෝහලේ හිටියා තමන්ට නියමිත ජාතික රෝහලට පාරෙන් පැනලා යන්න බැරුව. ඒ නිසා මේ සියලු අක්‍රමිකතාවයන් නතර කරලා වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් යනවා. මේකෙන් බහුරයක් අසාධාරණයට ලක්වෙලා හිටපු වෛද්‍යවරුන්ට සාධාරණයක් වෙන නිසා ඒ අය කැමති. මේකට අකමැති වෙන්නේ තමන්ගෙ බලය පාවිච් කරලා තමන්ගේ විධායක සභාවේ සාමාජිකයෝ, තමන්ගේ සාමාජිකයන්ගේ බිරින්දෑවරු තමන්ට කැමති කැමති තැන්වල අවුරුදු ගාණක් රඳවගෙන හිටපු අය. ඒ නිසා අදාළ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් යනවා.

2018 පමණ වෙන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබුණා උතුරු නැගෙනහිර ලැයිස්තුවක්. ඒ කියන්නේ යුද්ධය කාලයේ සහ යුද්ධය කාලයෙන් පසුව ඒ ප්‍රදේශවලට වෛද්‍යවරු යැවීම සඳහා වුණු ලැයිතුවක්. යුද්ධය නතර වෙලාත් අවුරුදු 8-9ක් වෙනකනුත් ඒක නතර කරන්න කවුරුවත් උත්සාහ ගත්තෙත් නෑ. 2020දී මේක දුෂ්කර ලැයිතුවක් හැටියට ආවා. ඒ දුෂ්කර ලැයිස්තුව සකස් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්නායක තිබෙනවා. ප්‍රධාන නිර්නායක 7ක් යටතේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය එම නිර්නායක සකස් කළ යුතුව තිබුණේ. හැබැයි මේ සංගමයේ බලපෑම මත ඒ ලැයිස්තුවට විවිධාකාරයේ අකටයුතුකම් වෙලා තිබුණා.

මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සම්බන්ධ කරගෙන සාකච්ඡාවට ගණනාවක් කරලා අර නිර්නායක 7මත පදනම් කරලා දුෂ්කර සේවා ලැයිස්තුවක් හැදුවා. ඒ ලිස්ට් එක හදන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ වෘත්තිය සංගම් අවශ්‍ය නෑ. ඒක යුනියන්වල වැඩක් නෙමෙයි ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩක්. ඒ අනුව 265ක ලැයිස්තුවක් සකස් කළා. ඒ ලැයිස්තුව තමයි අපි ප්‍රකාශයට පත් කළේ. ඒකට යූනියන් සම්බන්ධ කරන්න අවශ්‍ය නෑ."