පාකිස්තානය, චීනය සහ ඉන්දියාවට අයත් නෞකා හෝමුස් සමුද්‍ර සන්ධිය තරණය කරයි
March 30, 2026 10:21 pm
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම නවතා දැමුවද මේ වන විට ඒ හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාවේ යම් වර්ධනයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉරානය විසින් පාකිස්තාන ධජය සහිත නෞකා 20කට මෙම මුහුදු මාර්ගය හරහා ගමන් කිරීමට අවසර ලබා දී ඇති බව සඳහන් වේ.
ඒ අනුව දිනකට නෞකා දෙක බැගින් ගමන් කරනු ඇති.
පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා මෙය ඉරානය විසින් ගත් සාධනීය පියවරක් ලෙස අගය කර තිබේ.
'Marine Traffic' නෞකා ගමන් මග නිරීක්ෂණ සේවාවට අනුව, මැලේසියාවේ පෝට් ක්ලැන්ග් බලා යාත්‍රා කරන චීන බහාලුම් නෞකා දෙකක් අද (30)සාර්ථකව මෙම සමුද්‍ර සන්ධිය තරණය කර ඇත.
ඉන්දියාවේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් 'LPG' රැගත් ඉන්දියානු නෞකා දෙකක් ද පසුගිය සති අන්තයේ මෙම මාර්ගය හරහා ගමන් කර තිබේ.
මෙය මීට සති දෙකකට පෙර ඉන්දියාව සහ ඉරානය අතර ඇති වූ එකඟතාවයක ප්‍රතිඵලයක් ලෙසය.
ඉරානය මෙහිදී පූර්ණ අවහිරතාවයක් වෙනුවට තෝරාගත් නෞකාවලට පමණක් අවසර ලබා දීමේ උපායමාර්ගයක් අනුගමනය කරන බව පෙනී යයි.
අමෙරිකාව හෝ ඊශ්‍රායලය සමඟ සෘජු සබඳතා නොපවත්වන රටවල නෞකා සඳහා සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බව ඉරානය අවධාරණය කර ඇත.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ පාකිස්තාන නෞකාවලට අවසර ලබා දීම පිළිබඳව ඉරාන කථානායක මොහොමඩ් ගලිබාෆ් තමාට දැනුම් දුන් බවය.
කෙසේ වෙතත් ඉරානය මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වැඩිදුරටත් සඳහන් කර ඇත.
