කරාපිටිය රෝහලට එන QR ක්‍රමය
March 27, 2026 08:14 pm
කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නව ඩිජිටල්කරණ වැඩපිළිවෙල අද (27) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
සායනික රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේදී රෝගීන් පෝලිම්වල සිට අපහසුතාවයකට පත්වීම වළක්වාලමින් ස්මාට් ටෝකන් ක්‍රමයට අනුගතව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.
මෙරට රෝහලක ප්‍රථම වතාවට මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ, පසුගිය 25 වෙනිදාය.
ඒ අනුව එම කටයුතු ක්‍රියාත්මක වන ආකාරයත් එම ක්‍රමවේදය තුළින් රෝගීන් සහ කාර්ය මණ්ඩල පත්ව ඇති පහසුව ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.
එම වැඩපිළිවෙල තවත් ක්‍රමවත් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර නියමු ව්‍යාපෘතියක් වන මෙය ඉදිරියේදී QR ක්‍රමයක් දක්වා වැඩිදියුණු කිරීමට නියමිත බව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව බාහිර ඖෂධ ලබාගැනීම සඳහා ද මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙමගින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, පූජ්‍ය පක්ෂය, විශ්‍රාමික සහ වැඩිහිටි ප්‍රජාවන්ට ද විශේෂ අවස්ථාවක් ලබාදී ඇත.
මෙම නව ඩිජිටල්කරණ ක්‍රමවේදය යටතේ සායනයේදී රෝගීන් සඳහා ඖෂධ වට්ටෝරුව ලබාගෙන ඖෂධ ලබාදෙන ස්ථානයේදී තොරතුරු ඉදිරිපත් කළ යුතුය.
එය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ටෝකනයක් ලබාදෙනු ලබන අතර ඒ අනුව අදාළ අංකයට හිමි ඖෂධ නිකුත් කිරීම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
