බොරතෙල් මිල ඉහළට - මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

බොරතෙල් මිල ඉහළට - මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 26, 2026   05:44 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (26) දින 27ක් ගතවී ඇත.

.......................

Update - 8.00AM

ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර සඳහා USS ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකාව කලාපීය මුහුදු සීමාවේ සිට අඛණ්ඩව සිය ගුවන් මෙහෙයුම් සිදු කරන බව අමෙරිකාව ප්‍රකාශ කරයි.

------------------------------

Update - 7.30AM

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (25) දිනට සාපේක්ෂව යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.39ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස්  ඇති අතර එය 1%ක වැඩිවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 103.3ක් දක්වා වැඩි වී ඇති අතර එය ද 1.10%ක වැඩිවීමක් වේ. 

මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.4ක් ලෙස දැක්වෙයි.

ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව 14.52%ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. 

.......................

Update - 6.28AM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමයට කැමැත්ත පලකරන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව ධවල මන්දිරයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසන්නේ, මේ මොහොතේ ඉරානය යථාර්ථය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර කිසිදා නොවුවිරූ ලෙස ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවය.

ධවල මන්දිරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ. 

කෙසේවෙතත් අදාළ සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කරන ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගච් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට ඉරානය අදහස් නොකරන බවය.

අමෙරිකා එක්සත් ජනපදය විසින් මැදිහත්කරුවන් හරහා විවිධ පණිවුඩ යොමුකළ ද ඉරානයට අවශ්‍ය වන්නේ ස්ථීර අවසානයක් බව ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

.......................

Update - 6.00AM

ඉරාන හමුදාව අඛණ්ඩව අද දිනය තුළත් සිය මෙහෙයුම් සිදුකරමින් සිටී.

ඊශ්‍රායලයේ චන්ද්‍රිකා මධ්‍යස්ථාන මෙන්ම ජෝර්දානයේ අල් අස්රාක් ගුවන් කඳවුර, බහරේනයේ ෂෙයික් ඊසා කඳවුර සහ කුවේටයේ අලි අල් සාලෙම් සහ අරිෆ්ජාන් කඳවුරු ඇතුළු අමෙරිකානු හමුදා රැඳීසිටින මැද පෙරදිග කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.