මෙරට වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සතියේ සඳුදා දිනෙන් වාර්තා වෙයි

මෙරට වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සතියේ සඳුදා දිනෙන් වාර්තා වෙයි

March 24, 2026   04:32 pm

පවතින වියළි කාලගුණයත් සමග මෙරට වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සඳුදා දින වාර්තා වූ බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය බී.එල්.ප්‍රදීප් පියදර්ශන පෙරේරා මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ එම විදුලි ඉල්ලුම මෙගාවෝට් 3,089ක් ලෙස වාර්තා වී ඇති බවත් එදින සිට මේ දක්වාම විදුලි ඉල්ලුම මෙගාවෝට් 3,000 අතර වාර්තා වන බවත්ය.

එමෙන්ම මේ මොහොත් විදුලි සැපයීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා දෙමින් සිටින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ ඒ අනුව මේ දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී නොමැති බවය.

පවතින වියළි කාලගුණයත් සමග විදුලි ඉල්ලුමේ වැඩිවීමක් පවතින බැවින් විදුලිය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස තමන් සියලුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේය.

"පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන්නේ වියළි කාලගුණික තත්වයක් තියෙන්නේ රටේ. ඒ වියළි කාලගුණික තත්ත්වයත් එක්ක විදුලි ඉල්ලුම වැඩිවෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ලංකාවේ මෙතක් අපේ පද්ධතියට දෙනු ලබන විදුලි ඉල්ලුමට දෙනු ලබන ධාරිතාවට වැඩිම ඉල්ලුම තිබුණේ ගිය සුමානේ සඳුඳා. 3089ක් මෙගාවෝට්. ඒ එක්කම අපි එනර්ජි ගත්තොත් ගිගාවෝට් පැය 60.56ක් අපි පද්ධතියෙන් ලංකාවේ පරිභෝජනය සඳහා කළමනාකරණය කරලා තිබෙනවා. වියළි කාලගුණික තත්ත්වයක් යටතේත් ඉන්ධන අර්බුදයක් පවතින මොහොතේ වුණත් ඛනිජ තෙල් සංස්ථාව අප වෙත ඉන්ධන අපේ අවශ්‍යතාවය අනුව ලබා දෙනවා. ඒ නිසා ලංකාවේ කිසිම තැනක විදුලි කප්පාදුවක් නොමැතිව විදුලි ඉල්ලුම ලබා දෙන්න. එදා ඉඳලා මේ දක්වාම වැඩිවීමක් තිබෙනවා ඒ කියන්නේ මෙගාවෝට් 3,000 කියන්නේ මේ දවස් ටිකේම රෙකෝඩ් වෙන එකක්. ඒ වගේම විදුලි ඉල්ලුම ගත්තොත් ගිගාවෝට් පැය ගාණ ගත්තොත් 58-59 මට්ටමේ. ඒ කියන්නේ අපි අඛණ්ඩ විදුලි සැපයුමක් අපි ලබා දීලා තිබෙනවා... පද්ධති පාලන මධ්‍යස්ථානය විදිහට මම ඉල්ලනවා  විදුලිය පුළුවන් උපරිමයෙන් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන එක. මොකද ඒක මේ වෙලාවේදි රටක් විදිහට හැමෝම එකතු වෙලා කළ යුතු දෙයක්."