ලෝකයක් බලාසිටින අවසන් පැය කිහිපය...

ලෝකයක් බලාසිටින අවසන් පැය කිහිපය...

March 23, 2026   04:17 pm

2026 මාර්තු 22 වන දින මැදපෙරදිග දේශපාලනික තත්ත්වය අතිශය භයානක විය.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය වෙත නිකුත් කරන ලද ඉතා දරුණු අවසාන නිවේදනයත් සමඟිනි.

සති තුනක දරුණු යුද ගැටුම්වලින් පසුව කලාපීය ආරක්ෂාව මෙන්ම ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ද දැඩි අර්බුදයකට ලක්ව ඇති මොහොතක මෙම තීරණය ගෙන තිබුණි.

මාර්තු 21 වන සෙනසුරාදා දින GMT වේලාවෙන් 23:44ට සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටියේ, ලොව තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිදු තර්ජනයකින් තොරව වහාම විවෘත කරන ලෙසයි.

සඳුදා එනම් අද (23) රාත්‍රියේ අවසන් වන මෙම පැය 48 ඇතුළත ඉරානය ඊට එකඟ නොවන්නේ නම්, එරට බලශක්ති පද්ධතිය මුළුමනින්ම විනාශ කරන බවට ඔහු අනතුරු ඇඟවීය.

විශේෂයෙන්ම, ඉරානයේ විශාලතම බලාගාරවලින් ආරම්භ කරමින් ඔවුන්ගේ බලශක්ති යටිතල පහසුකම් පොළවට සමතලා කරන බවට ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම දැඩි තීරණයට හේතු වූයේ ඉරානය විසින් පසුගිය සති අන්තයේ එල්ල කරන ලද පෙර නොවූ විරූ ප්‍රහාර මාලාවකි.

ඉරාන මිසයිල ඊශ්‍රායලයේ ඩිමෝනා 'Dimona' පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය ආසන්නයට සහ අරඩ්  (Arad) නගරයට පතිත විය.

මින් පුද්ගලයන් 180කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධති පවා බිඳ දැමීමට තමන්ට හැකි බව ඉරානය මෙයින් ඔප්පු කළේය.

ඉරානය විසින් ඉන්දියන් සාගරයේ පිහිටි අමෙරිකානු-බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් වන ඩියාගෝ ගාර්ෂියා (Diego Garcia) වෙත කිලෝමීටර් 4,000ක පමණ දුරක් යා හැකි දිගු දුර මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළේය.

මෙය ඉරානයේ ප්‍රහාරක සීමාවන් පුළුල් වී ඇති බවට ලැබුණු ප්‍රබල සංඥාවකි.

අමෙරිකානු අනතුරු ඇඟවීම හමුවේ පසුබට නොවුණු ටෙහෙරාන් පාලනය ද පෙරළා තර්ජනය කළේය.

අමෙරිකාව ඉරානයේ බලාගාරවලට පහර දුන්නොත්, මැදපෙරදිග පුරා පිහිටි අමෙරිකානු සහ ඊශ්‍රායල බලශක්ති, තොරතුරු තාක්ෂණ සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරන බව ඉරානය පැවසීය.

ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස පර්සියානු ගල්ෆ් කලාපය පුරා මුහුදු බෝම්බ (sea mines) අතුරා නාවික ගමනාගමනය සහමුලින්ම අඩාල කරන බවට ඔවුන් අනතුරු ඇඟවීය.

එමෙන්ම ඉරාන හමුදාව ද දැඩි ප්‍රතිචාර දක්වා තිබුණි. 

ඉරාන හමුදා ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි (Ebrahim Zolfaghari) ඊයේ (22) අනතුරු අඟවමින් පැවුසුවේ ට්‍රම්ප් "ත්‍රස්තවාදී ජනාධිපතිවරයෙක්" බවත් අමෙරිකාව සිය තර්ජනය ක්‍රියාත්මක කළහොත් හානියට පත් ඉරාන බලාගාර නැවත ගොඩනගන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිසේත්ම විවෘත නොකරන බවටය.

එමෙන්ම ඊශ්‍රායලයේ සියලුම විදුලි බලාගාර, බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ඉලක්ක කර මහා පරිමාණ ප්‍රහාර එල්ල කරන බවත් කලාපය තුළ පවතින අමෙරිකානු කොටස් හිමිකාරිත්වය සහිත සියලුම සමාගම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවත් ඉරාන හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

ඊට අමතරව, අමෙරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන කලාපීය රටවල බලශක්ති මධ්‍යස්ථාන ද නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකා ප්‍රහාර එල්ල කරන බවද ඔහු පැවසීය.

"හෝමුස් සමුද්‍ර සන්ධිය වසා ඇත්තේ සතුරන්ට සහ හානිකර ගමනාගමනයට පමණයි," යනුවෙන් ද ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබුණි.

මේ අතර ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට වොෂින්ටනයට පූර්ණ හැකියාව පවතින බවත්, ඒ සඳහා බදු වැඩි කිරීමට අවශ්‍ය නොවන බවත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් 'Scott Bessent' ප්‍රකාශ කළේය.

මෙවන් යුදමය වාතාවරණයක් තුළ අද දවසේ දී ලෝකයම පසුවන්නේ දැඩි අවිනීශ්චිතතාවයකිනි. 

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාදුන් කාලය අවසන් වීමට ආසන්න වෙමින් පැවතීමය.

මේ අතර, බොරතෙල් බැරලයක මිල ඩොලර් 112 ඉක්මවා ගොස් ඇති අතර වෙළෙඳපොළ දැඩි අස්ථාවරත්වයක පවතී.

නෞකා 1,000ක් සහ නාවිකයන් 20,000ක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නොහැකිව කොටු වී සිටින බව විදෙස් පුවත් පවසයි.

මේ අතර තවත් අමෙරිකානු මැරීන් භටයින් දහස් ගණනක් කලාපයට ළඟා වෙමින් පවතින අතර ඊශ්‍රායලය සිය මෙහෙයුම් තීව්‍ර කර ඇති බව වාර්තා වේ.

මෙවන් පසුබිමක හෙට (24) හිරුඋදාව කුමකින් කුමක් සිදුව අවසන් වී තිබේදැයි කිසිවෙකුටත් සිතාගත නොහැකි කරුණකි.