යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 22, 2026   06:20 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (22) දින 23ක් ගතවී ඇත.

Update - 03.00 PM

ඉරානය සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා බහරේනය දෙසට එල්ල වූ මිසයිල 145ක් සහ ද්‍රෝන ප්‍රහාර 246ක් සාර්ථකව හඳුනාගෙන විනාශ කළ බව බහරේන ආරක්ෂක අංශ පවසයි.

බහරේන හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉරානය විසින් එල්ල කරනු ලබන මෙම අඛණ්ඩ ප්‍රහාරක රළ මැඩපැවැත්වීම සඳහා එරට ගුවන් ආරක්ෂක පද්ධති දිවා රෑ ක්‍රියාත්මක වන බවය.

--------------------

Update - 02.45 PM

හමුදා ක්‍රියාමාර්ග සඳහා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සාමාජික රටවල් හයම වගකිව යුතු බවට ඉරානය එල්ල කරන චෝදනා "පදනම් විරහිත"  බව එම සංවිධානයේ මහලේකම් ජසෙම් මොහොමඩ් අල්බුදයිවි ප්‍රකාශ කර තිබේ.

මහලේකම්වරයා විසින් ඉරානය විසින් ගල්ෆ් සාමාජික රටවල යටිතල පහසුකම් සහ තෙල් මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් සිදුකරන අඛණ්ඩ, ද්‍රෝහී සහ නින්දිත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ද නැවත අවධාරණය කළේය.

-------------------------

Update - 02.20 PM

කටාර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේදී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යානයේ ගමන් ගත් තවත් එක් පුද්ගලයෙකු තවමත් අතුරුදහන්ව සිටින බව එන නිවේදනයේ සඳහන් වේ.

'X' සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අදාළ හෙලිකොප්ටර් යානයේ පුද්ගලයින් හත්දෙනෙකු ගමන් කර ඇති බවය. 

ක්‍රියාත්මක කළ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් මගින් ඉන් හයදෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර අතුරුදහන් වූ අනෙක් පුද්ගලයා සොයා විශේෂ කණ්ඩායම් විසින් දැඩි සෝදිසි මෙහෙයුම් පවත්වන බව සඳහන්වේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

---------------

Update - 01.55 PM

ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය පිහිටි දකුණු දිග නගරයක් වන ඩීමෝනා සහ ඒ අසල පිහිටි අරාඩ් නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අරාඩ් නගරයේ අවම වශයෙන් පුද්ගලයන් 116 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 7දෙනෙකුගේ තත්ත්වය බරපතල වන බවය.

එමෙන්ම ඩීමෝනාහි අවම වශයෙන් පුද්ගලයන් 64දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන බවද සඳහන්.

------------------

Update - 01.40 PM

ඊශ්‍රායල-ලෙබනන් දේශසීමා ආසන්නයේ පිහිටි ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් අඛණ්ඩව ද්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් දියත් කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.

නිවේදන කිහිපයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා ඊශ්‍රායල සොල්දාදුවන් සහ හමුදා කඳවුරු ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවය.

--------------------

Update - 01.20 PM

ලෙබනනයේ සිට එල්ල කරන ලද ප්‍රහාරක් උතුරු ඊශ්‍රායලයේ මිස්ගාව් අම් ප්‍රදේශයේදී වාහනයකට පතිත වීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

--------------------

Update - 01.10 PM

ආරක්ෂක සහ සුරක්ෂිතතා විධිවිධාන සම්බන්ධයෙන් ඉරාන රජය සමඟ සම්බන්ධීකරණය පවත්වා ගන්නේ නම්, විදේශීය නෞකාවලට තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ හැකි බව අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ ඉරාන නියෝජිතයා පවසයි.

-------------------

Update - 12.50 PM

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ, ඉරාන බලධාරීන් විසින් පනවා ඇති අන්තර්ජාල තහනම මේ වන විට සති හතරක්, එනම් පැය 500කට වඩා වැඩි කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

------------------

Update - 12.20 PM

තම රට අඛණ්ඩව මාරාන්තික ගුවන් ප්‍රහාරවලට ලක්වෙමින් පවතින පසුබිමක, ඉරානයෙන් "ඉවසීමක්" බලාපොරොත්තු වීම පලක් නැති කාර්යයක් බව ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි පවසයි.

ඔහු සඳහන් කළේ, ඉරානයෙන් කිසියම් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීමට පෙර, මෙම ප්‍රහාර ආරම්භ කළ ආක්‍රමණිකයන් ප්‍රථමයෙන් තම ප්‍රහාර නතර කළ යුතු බවය.

--------------------

Update - 11.55 AM

වත්මන් ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය අවසානයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් වුවහොත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික බෝම්බ ඉවත් කිරීම සඳහා ජපාන හමුදාව යෙදවීමට සලකා බැලිය හැකි බව ජපාන විදේශ අමාත්‍ය තොෂිමිට්සු මොටෙගි පවසයි.

--------------------

Update - 11.25 AM

ඉරානයේ සිට ඊශ්‍රායල භූමිය ඉලක්ක කරගනිමින් නව මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.

මෙම ප්‍රහාර හඳුනා ගැනීමත් සමඟම ඊශ්‍රායලයේ මධ්‍යම කලාපයේ (Central Israel) සහ ජෙරුසලමේ පවා අනතුරු ඇඟවීමේ සීනු නාද වී තිබේ.

--------------------

Update - 10.55 AM

ඉරානය විසින් ඩීමෝනා සහ අරාඩ් ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසු තුවාල ලැබූ පුද්ගලයින් 150ක් පමණ ප්‍රතිකාර සඳහා සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ තිබේ.

---------------------

Update - 10.15 AM

ඊශ්‍රායල මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන යාරිව් ඔපන්හයිමර් පවසන්නේ, ඉරානය සතුව අවි ආයුධ අවසන් වෙමින් පවතින බවට රජය ප්‍රකාශ කළද, දිගින් දිගටම එල්ල වන ඉරාන ප්‍රහාර හමුවේ රජය ඒ පිළිබඳව වගකීම දැරිය යුතු බවය.

X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඉරානයේ නවතම ප්‍රහාර හමුවේ රටේ මිසයිල නාශක පද්ධති අසාර්ථක වූ ආකාරය පිළිබඳව බලධාරීන් මහජනයාට සත්‍යය හෙළි නොකරන බවය.

----------------------

Update - 09.43 AM

ඉරානයට එරෙහි යුද්ධයේදී ඇමරිකානු උපායමාර්ගය පිළිබඳව අදහස් දක්වමින් පාවොලෝ වොන් ෂිරාක් පවසා සිටියේ, ඉරාන නායකත්වය එතරම් පහසුවෙන් යටත් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවය.

"අපි දැන් සති කිහිපයක සිට ඉරානයට සාර්ථකව බෝම්බ හෙළමින් සිටිනවා. නමුත් එම ප්‍රහාර ඉරාන වැසියන්ව හෝ ඔවුන්ගේ නායකත්වය යටත් වීමට පොළඹවන මට්ටමකට තවමත් පත්ව නැහැ," ලෙසද ඔහු සඳහන් කළේය.

-------------------

Update - 09.00 AM

ටෙහෙරාන් අහසේ සැරිසැරූ ඩ්‍රෝන ප්‍රහාරක යානයක් හඳුනාගෙන එය බිම හෙළීමට සමත් වූ බව ඉරාන හමුදාව නිවේදනය කර තිබේ. 

ඉරාන හමුදාව ප්‍රකාශ කළේ, මෙම යුදමය තත්ත්වය ආරම්භ වූ දා සිට, සතුරාට අයත් විවිධ වර්ගයේ උසස් ඩ්‍රෝන ප්‍රහාරක යානා 127ක් රටේ ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ඉලක්ක කර විනාශ කර ඇති බවය.

--------------
Update - 08.27 AM

සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිහිටි ඩිමෝනා නගරයට ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

ඒ, න්‍යෂ්ටික අනතුරු වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය ඉල්ලා ඇති පසුබිමකය. 

--------------
Update - 07.27 AM
පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන්නේ නම් ඉරානයේ ඇති සියලු බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ අනතුරු ඇඟවීමට ඉරානය ප්‍රතිචාර දක්වා තිබේ.

එරට රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ලෝක බීබීසී පුවත් සේවය සඳහන් කළේ, සිය රටේ බලාගාරවලට ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපය පුරා ඇති එක්සත් ජනපදයට සම්බන්ධ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරාන රජය ප්‍රකාශ කර ඇති බවය.

--------------
Update - 07.13 AM

ඉරානය විසින් ඊශ්‍රායලයේ ආර්ඩ් සහ ඩිමෝනා යන නගර දෙකකට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 100කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

--------------

Update - 06.20 AM

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘතකිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නව කාල සීමාවක් ලබාදී තිබේ.

ඔහු සිය 'Truth' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ඉරාන වේලාවෙන් පෙ.ව. 3.14 සිට පැය 48ක කාලයක් ලබාදී ඇති බවය.