වැඩේ අවසන් කරන තෙක් අපි නතර වෙන්නේ නැහැ - පීට් හෙග්සෙත්
March 19, 2026 05:49 pm
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් යුද්ධයේදී මියගිය සෙබළුන් සහ අමෙරිකාවේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් අද(19) විශේෂ මාධ්‍ය හමුමකට එක් වෙමින් ප්‍රකාශ කර ඇත්තේ ආරම්භ කළ යුද්ධය අවසන් කරන තෙක් එය නතර නොකරන බවයි.
ඉරාන යුද්ධයේදී මියගිය අමෙරිකානු සෙබළුන්ගේ දේහයන් එරටට රැගෙන ආ අවස්ථාවට තමන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ බව පීට් හෙග්සෙත් පවසයි.
මියගිය සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන් තමන්ගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, "ආරම්භ කළ කාර්යය (යුද්ධය) අවසන් කරන තෙක් නතර නොකරන ලෙස" බව ඔහු සඳහන් කළේය.
"අනිවාර්යයෙන්ම අපි මෙය අවසන් කරනවා ඔවුන් කළ කැපකිරීමට අපි ගෞරව කරනවා," යැයි හෙග්සෙත් මෙහිදී අවධාරණය කර තිබේ.
මේ අතර, ඉරානය සමඟ පවතින ගැටුම් ආරම්භ වූ දා සිට අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 90% කින් අඩුවී ඇති බව පීට් හෙග්සෙත් පවසයි.
ඉරාන නාවික හමුදාවට අයත් යුද නැව් අවම වශයෙන් 120ක් පමණ විනාශ කිරීමට හෝ ගිල්වා දැමීමට අමෙරිකාව සමත්ව ඇති බවද ඔහු පැවසීය.
ඉරානයේ මතුපිට නාවික බලය දැන් අවසන් වී ඇති අතර ඔවුන්ගේ සබ්මැරීන් ද විනාශ වී ඇති බව ඔහු සඳහන් කරයි.
මැදපෙරදිග රටවල්, යුරෝපයේ සිටින අමෙරිකාවේ මිත්‍ර රටවල් සහ මාධ්‍ය ආයතන පවා ජනාධිපති ට්‍රම්ප්ට ස්තූතිය පලකල යුතු බව ද මෙහිදී හෙග්සෙත් අවධාරණය කරයි.
ඉරාන රජය ගාසා තීරයේ හමාස් සංවිධානය මෙන් තම ධනය උමං මාර්ග, රොකට් සහ මිසයිල සඳහා වැය කර ඇති බවත්, අමෙරිකානු හමුදාව ඉතා ක්‍රමවත්ව සහ දරුණු ලෙස ඒවා විනාශ කරමින් සිටින බවත් හෙග්සෙත් පවසයි.
මේ වන විට අමෙරිකාව ඉරානය තුළ ඉලක්ක 7,000 කට වඩා වැඩි ප්‍රමාණයකට පහර දී ඇති බවද අද දිනය තුළ ඉතිහාසයේ එල්ල කළ විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට එල්ල කරන බව ඔහු අනාවරණය කළේය.
