QR ක්‍රමවේදය සති අන්තයේ හඳුන්වා දුන් හේතුව හෙළි වෙයි

QR ක්‍රමවේදය සති අන්තයේ හඳුන්වා දුන් හේතුව හෙළි වෙයි

March 16, 2026   10:06 pm

ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලීම් නිර්මාණය නොකරන ලෙස ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. 

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, මෙම විධිමත් කළමනාකරණ ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන ලෙසය. 

පවතින ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ මෙරට ඉන්ධන සංචිත සුරක්ෂිත කරගැනීම සහ ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සඳහා QR කේත ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා QR කේතය හරහා ඉන්ධන ලබාදීමේ වැඩසටහන සති අන්තයක සිට ක්‍රියාත්මක කිරීමට තීරණ කළ බව ද ඔහු පැවසීය.

මීට පෙර පද්ධතියේ පැවති ගැටලු වන වාහන අයිතිය වෙනස්වීම සහ ජංගම දුරකථන අංක පිළිබඳ ගැටලුවලට පිළියම් මේ වනවිට යොදා ඇත. 

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පද්ධතියෙන් වාහන ඉවත් කිරීමේ පහසුකම ද මේ වනවිට විධිමත් කර ඇති බවය. 

හෙට උදෑසන වනවිට සියලු තාක්ෂණික බාධාවන් මඟහැරී ජනතාවට පහසුවෙන් සේවාව ලබාගත හැකි වනු ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.