ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

March 14, 2026   10:38 pm

මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ ළමුන් සහ ගරුවරුන් 200කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බව ඉරානයේ මාධ්‍ය ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානි පවසයි. 

ඇය රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, පාසල් 120කට පමණ හානි සිදුව ඇති බවය. 

ටෙහෙරාන නගරයේ පිහිටා ඇති 'ආසඩි' කුලුනට ද දැඩි ලෙස හානිවී ඇති බව ෆාතිමේ මොහජෙරානි සඳහන් කළාය. 

ඉරාන අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් IRNA ප්‍රවෘත්ත ඒජන්සිය සඳහන් කළේ, පාසල් සිසුන් සහ ගුරුවරුන් 161කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවය.

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 42,914 දෙනෙකුට අයත් දේපළ විනාශවී ඇති බව බව ඉරානයේ රතු අඩසඳ සංගමය සඳහන් කරයි. 

ඉන් ‌ගොඩනැගිලි 6,179ක් වාණිජමය වටිනාකමකින් යුක්ත වන අතර ගොඩනැගිලි 36,489ක් නිවාස වන බව සඳහන්ය.

ඉන් 10,000ක් පමණ ටෙහෙරාන් නගරයේ පිහිටා තිබූ ගොඩනැගිලි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. 

රට පුරා ඇති වෛද්‍ය, සෞඛ්‍ය සහ හදිසි මධ්‍යස්ථාන 160කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.