උණුසුම් කාලගුණය මැයි අග දක්වා

උණුසුම් කාලගුණය මැයි අග දක්වා

March 14, 2026   01:03 pm

දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

ඒ හේතුවෙන් පාසල් ක්‍රීඩකයන්ට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ, ක්‍රීඩා කටයුතු දැඩි අව් රශ්මිය මැද සිදුනොකරන ලෙසය. 

මෙරටට බලපෑ ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්ය.‍

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට පැමිණ ඇත.

එම අගය උණුසුම් දර්ශකයට අනුව 45 අගය ඉක්මවූ එනම් 'වැඩි අවධානයක්' යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (14) දින පස්වරු 3.30ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එය හෙට 15 දින සඳහා වලංගු වේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් මෙන්ම මොනරාගල, මන්නාරම, අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදය නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.