ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මාර්තු 19 සහ 20
March 11, 2026 04:19 pm
ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය මාර්තු 19 සිට 20 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
ඒ අනුව 19 වනදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය වී ඇත.
එමෙන්ම මාර්තු 20 වැනි සිකුරාදා ද පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා අදාළ විවාදය දෙවැනි දිනටත් විවාදයට ගැනීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් පැවසුවේ මාර්තු 17 සිට 20 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 06 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
මාර්තු 17 වැනි අඟහරුවාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා දුෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමට අතුරු යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
මාර්තු 18 වැනි බදාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙ.ව. 11.00-11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන් කර තිබේ.
පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත.
එසේම ප.ව. 5.00 - ප.ව 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
