ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස්ගෙන් ජනපති ට්‍රම්ප්ට සැර පිළිතුරක්
March 8, 2026 08:36 pm
මැදපෙරදිග කලාපයේ අමෙරිකානු ඉලක්ක වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් "බලහත්කාරයෙන් පටවන ලද" යුද්ධයකට දක්වන ප්‍රතිචාරයක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
විදෙස් පුවත් ආයතනයක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, ඉරානය මෙම ගැටුම තෝරා නොගත් බවත් ඔවුන් කටයුතු කරන්නේ ආත්මාරක්ෂාව සඳහා පමණක් බවත්ය." මෙය අප විසින් තෝරාගත් යුද්ධයක් නොවේ. මෙය අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් අප මත පටවන ලද්දක්," බවය.
එමෙන්ම, මෙම ගැටුම කිසිදු උසිගැන්වීමකින් තොරව සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් ලෙසද ඔහු එහිදී පවසා ඇති බව සඳහන් වේ.
ඉරානයේ ප්‍රතිප්‍රහාර එල්ල වන්නේ කලාපයේ පවතින අමෙරිකානු කඳවුරු සහ දේපළ ඉලක්ක කරගෙන බව අමාත්‍යවරයා පවසා ඇත.
එම ඉලක්ක අසල්වැසි රටවල භූමිය තුළ පිහිටා තිබුණද, අමෙරිකානු වත්කම්වලට පහර දීමට පසුබට නොවන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තේරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ එය රටේ 'විශේෂඥ මණ්ඩලය' විසින් තීරණය කරනු ලබන සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර කරුණක් බවය.
ඉරානයේ දේශපාලන ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්, ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව සිය රාජකාරි කරගෙන යන බවත් ඔහු එහිදී පවසා ඇති බව සඳහන් වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා කියා ඇත්තේ, මීළඟ නායකයා කවුරුන්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ඉරාන ජනතාවට පමණක් මිස වෙනත් කිසිවෙකුට නොවන බවය.
"නව උත්තරීතර නායකයෙකු ඉක්මනින්ම විශේෂඥ මණ්ඩලය විසින් තෝරා ගනු ඇත. මෙය ඉරාන ජනතාවගේ වැඩක් මිස වෙනත් කිසිවෙකුගේ කාර්යයක් නොවේ." යනුවෙන් වැඩිදුරටත් ඔහු පවසා ඇත.
