දකුණු මුහුදේ තෙල් කාන්දුවේ අලුත්ම තත්ත්වය

දකුණු මුහුදේ තෙල් කාන්දුවේ අලුත්ම තත්ත්වය

March 8, 2026   06:12 pm

හික්කඩුව සහ දොඩම්දූව ප්‍රදේශයන්ගේ වාර්තා වූ තෙල් පැල්ලම් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නිරීක්ෂණයට ලක් කර තිබේ.

අද (8) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති සමන්ත ගුණසේකර මහතා පවසා සිටියේ, එම තෙල් පැල්ලම් ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා බවය.

එමෙන්ම එම වෙරළ තීරයන්ට තෙල් බැරල් 4ක් ගොඩ ගසා තිබූ බවද පැවසු සභාපතිවරයා, අදාළ තෙල් පැල්ලම් බොහෝ විට ලිහිසි තෙල් විය හැකි බවට අනුමාන කළ හැකි බවද කියා සිටියේය.

එම වෙරළ තීරයෙන් ලබාගත් තෙල් සාම්පල මේ වනවිට වැඩිදුර පරීක්ෂණ සඳහා ඛනිජ තෙල් සංස්ථාවට යැවීමට කටයුතු සිදුකර ඇතැයි ද සමන්ත ගුණසේකර මහතා පැවසීය.

කුමන නැවකින් මෙම තෙල් බැරල් පැමිණ ඇත්දැයි නිශ්චිතව පැවසිය නොහැකි බවත්, අද දිනයේ දී හමුවූ තෙල් බැරලයට බොහෝ සෙයින් විනාශයට ලක්ව තිබූ බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අදාළ තෙල් පැල්ලම් බොහෝවිට එම බැරලවලින් පැතිරෙන්නට ඇතැයි අනුමාන කළ හැකි බවද පැවසු ඒ මහතා, සියලු කාර්යාංශවල එකතුවෙන් මෙම ස්ථානයන් පිරිසිදු කිරීමට ලක්කළ බවද පැවසීය.

මේ වනවිට 99%ක්ම තෙල් ඉවත් කර ඇති බවත්, මීට අමතරව සපත්තුවක් සහ ජීවිත ආරක්ෂක බෝට්ටුවක කොටසක් හික්කඩුව වෙරළට ගොඩගසා තිබූ බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් අද දිනයේ දී ගැඹුරු මුහුදේ නිරීක්ෂණයකට එක්වූ බවත්, එහිදී අලුත් දෙයක් වාර්තා නොවූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

හික්කඩුව, සීනිගම, දොඩම්දූව, හබරාදූව, හිනිදුම සහ ගාල්ල යන ප්‍රදේශයන්ගේ වෙරළ තීරයන්ගේ ඡායාරූප නිරන්තරයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නිරීක්ෂණයට ලක්කර ඇති අතර, එයට ගුවන් හමුදාවේ ද සහාය හිමිව තිබේ.

අදාළ ඡායාරූප මඟින් විශේෂ දෙයක් වාර්තා නොවූ බවද සඳහන් කර සිටි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා, තෙල් විසිරුමක් පිළිබඳව පළමුවරට වාර්තා වූයේ ඊයේ (07) දිනයේ දී බවද පැවසීය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් මෙම තත්ත්වය පිළිබඳව පැය 24 පුරාම අවධානයෙන් සිටින අතර, මෙරට ආපදාවලට ලක්වූ කැස්බෑවන්, ඩොල්ෆින් හෝ මත්‍යසයින් වැනි කිසිදු සත්ත්වයෙක් පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බව ද සභාපතිවරයා කියා සිටියේය.