ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන අවසන්
March 8, 2026 03:25 pm
අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගෙන් පසු, එම තනතුර සඳහා මීළඟට පත්වන පුද්ගලයා පිළිබඳව එරට 'විශේෂඥ මණ්ඩලය' (Assembly of Experts) මේ වන විට අවසන් තීරණයකට එළඹ ඇති බව වාර්තා වේ.
ඉරාන රජ්‍ය පුවත් සේවය වන 'ෆාර්ස්' (Fars) පුවත් සේවය මගින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝවක අදහස් දක්වමින්, එම මණ්ඩලයේ සාමාජිකයෙකු වන අයතුල්ලා මොහොමඩ් මෙහ්දි මීර්බගේරි ප්‍රකාශ කර ඇත්තේ, බහුතරයකගේ එකඟතාවය මත පදනම් වූ ස්ථිර තීරණයක් දැනටමත් ගෙන ඇති බවය.
කෙසේ වෙතත්, මීළඟ නායකයා ලෙස නම් කරනු ලබන පුද්ගලයාගේ නම මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීර්බගේරි වැඩිදුරටත් පවසා ඇත්තේ, පවතින දුෂ්කර තත්ත්වයන් හමුවේ විවිධ බාධාවන් පවතින බැවින් මෙම ක්‍රියාවලිය ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතු බවත්, එය මතභේදයට තුඩු නොදිය යුතු බවත්ය.
දශක හතරකට ආසන්න කාලයක් ඉරානය පාලනය කළ අලි කමේනි, ඔහුගේ අනුප්‍රාප්තිකයෙකු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඝාතනයට ලක් විය.
මේ හේතුවෙන් මීළඟ නායකයා තේරීමේ වගකීම එරට පූජක පාලන තන්ත්රය වෙත පැවරී තිබේ.
මීළඟ උත්තරීතර නායකයා තෝරා ගනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ පූජකවරුන් 88 දෙනෙකුගෙන් සමන්විත 'විශේෂඥ මණ්ඩලය' (Assembly of Experts) මගිනි.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව ඉරානයට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මියගිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සෑම අනුප්රාප්තියෙකුම ලුහුබැඳීම සිදුකරන බවය.
