IRIS Bushehr නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහ බේරාගත් ඉරාන නාවිකයින් ගැන අමෙරිකාව ගත් තීරණය

IRIS Bushehr නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහ බේරාගත් ඉරාන නාවිකයින් ගැන අමෙරිකාව ගත් තීරණය

March 8, 2026   10:31 am

ඉරාන යුද නෞකා සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාවට බලපෑමක් කිරීමට අමෙරිකාව උත්සාහ නොකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිද්ධියේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අමෙරිකා එක්සත් ජනපදය පිළිගන්නා අතරම ඊට ගරු කරන බව ඔවුන් සඳහන් කරයි.

අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයට ලක්වූ අයිරිස් ඩේනා නෞකාවේ සිට මුදාගත් පිරිස සහ ශ්‍රී ලංකා බලධාරීන් භාරයට ගත් අයිරිස් බුෂෙර් නෞකාවේ සිටි පිරිස යළි ඉරානයට භාර නොදෙන්නැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට බලධාරීන්ට දැනුම්දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබුණි.

එහි වැඩිදුරටත් දැක්වුණේ, එම නෞකාවල සිටි පිරිස යොදා ගනිමින් සිය ප්‍රතිරූපය ඉහළ නංවාගැනීමට ඉරානයට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව වගබලා ගතයුතු බවට ද අමෙරිකාව දැනුම් දී ඇති බවය.

මෙවන් පසුබිමක, ඉරාන යුද නෞකා සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාවට බලපෑමක් කිරීමට අමෙරිකාව උත්සාහ නොකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. 

අයිරිස් බුෂේර් නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මෙන්ම අයිරිස් ඩේනා නෞකාවේ සිට මුදාගත් ඉරාන නැවියන් පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දේශීය නීතිය සහ ජාත්‍යන්තර බැඳීම් අනුව අවසන් වශයෙන් තීරණය කළ යුුතු බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එසේම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ අමෙරිකාව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සංවාදයක නිරත වන බවය.