මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්
March 6, 2026 05:57 am
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 7ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත.
Update - 10:45 PM
මැදපෙරදිග යුද්ධ ආරම්භයේ සිට අමෙරිකානු පුරවැසියන් 24,000කට ආසන්න පිරිසක් ආරක්ෂිතව එක්සත් ජනපදය වෙත නැවත පැමිණ ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
----------------------------
Update - 10:05 PM
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර 70ක් පමණ එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් නදව් ශෝෂානි (Nadav Shoshani) සඳහන් කළේ මෙම ප්‍රහාර බොහොමයක් දකුණු ලෙබනනයේ සිට දියත් කර ඇති බවයි.
----------------------------
Update - 10:00 PM
ඉරාක නගර කිහිපයක වාර්තා වූ ප්‍රහාරවලින් පසු ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි හා කුර්දිස්ථාන කලාපීය ජනාධිපති නෙචිර්වාන් බර්සානි අතර කලාපීය ආරක්ෂක වර්ධනයන් පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.
---------------------------
Update - 09.59 PM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ තැබූ නවතම සටහනක සඳහන් කර ඇත්තේ, එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම පෙරදිග විවිධ රටවල සිටින ජනතාව ඉවත් කරමින් සිටින බවය.
මෙම මෙහෙයුම ඉතා රහසිගතව නමුත් සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව පවසන ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) සිදු කරන කාර්යභාරය ද ඇගයීමට ලක් කර ඇත.
දැනටමත් අමෙරිකානු වැසියන් 20,000ක් පමණ සිය රටට පැමිණ ඇති බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළ බවද එහි සඳහන්.
------------------------------
Update - 9: 55 PM
ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් උතුරු ඊශ්‍රායලයේ ස්ථාන දෙකකට රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.
පළමු ප්‍රහාරය දේශීය වේලාවෙන් පෙ.ව. 9:00 ට පමණ මල්කියා වෙත එල්ල කළ බවත්, දෙවන ප්‍රහාරය දේශීය වේලාවෙන් ප.ව. 2:00 ට පමණ (GMT 12:00) රාමොට් නෆ්තාලි වෙත එල්ල කළ බවත් එහි වැඩිදුරටත් සඳහන්.
---------------------------
Update - 9:45 PM
ලෙබනන් දේශසීමාව අසලදී එල්ල වූ මිසයිලයක් හේතුවෙන් ඊශ්‍රායල සොල්දාදුවන් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.
එම බලසේනාවේම සොල්දාදුවන් තිදෙනෙකු ද සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
--------------------------
Update - 9:30 PM
ඉරානය පුරා පිහිටි පාසල්, අධ්‍යාපන ආයතන සහ සිසුන් ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර හෙළා දකින ලෙස ඉල්ලා ඉරාන අධ්‍යාපන අමාත්‍ය අලිරේසා කසෙමි (Alireza Kazemi) විසින් යුනිසෙෆ් ආයතනය වෙත ලිපියක් යොමු කර ඇත.
එම ලිපිය මගින් අමාත්‍යවරයා චෝදනා කරන්නේ අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිය රටෙහි නිවාස, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ පාසල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බවය.
මිනාබ්, ෆාර්ස්, ඉලාම්, නැගෙනහිර අසර්බයිජානය, ටෙහෙරානය සහ කස්වින් යන පළාත්වල මෙන්ම අගනුවර අවට ප්‍රදේශවල සිසුන් සහ ගුරුවරුන් මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බවත්, විශාල පිරිසක් තුවාල ලබා ඇති බව බවත් එහි සඳහන් වේ.
---------------------------------------
Update - 9:00 PM
පසුගිය 2වනදා සිට ලෙබනනයට එල්ල වූ සිදු වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 217 දෙනෙකු මිය ගොස් 798 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
--------------------------------------
Update - 8:30 PM
ඉරාකයේ බස්රා පළාතේ බර්ජේසියා ප්‍රදේශයේ බලශක්ති නගර සැපයුම් කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
-------------------------------
Update - 7:30 PM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඒ, ඉරානය "කොන්දේසි විරහිතව යටත් විය යුතු" බවත්, එසේ නොමැතිව කිසිදු එකඟතාවයකට හෝ ගිවිසුමකට එළඹෙන්නේ නැති බවත් ය.
-------------------------
Update - 7:00 PM
ඊශ්‍රායල හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් සහ ඉස්ෆහාන් (Isfahan) නගරවලට නවතම ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
----------------------------------
Update - 6:45 PM
ඉරාකයේ බස්රා ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන යානයක් මගින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාක ආරක්ෂක අංශ තහවුරු කරයි.
----------------------------
Update - 6:30 PM
ලෙබනනයේ අගනුවර වන බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර 15කට වඩා එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
-------------------------
Update - 6:05 PM
මධ්‍යම පෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවත්, එමගින් නව බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) අනතුරු අඟවයි.
-------------------------
Update - 5:52 PM
ඉරාන හමුදාව විසින් කුවේට් වෙරළට ඔබ්බෙන් වූ "ඇමරිකානු හිමිකාරීත්වය සහිත" තෙල් නැවකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන සන්නද්ධ හමුදාව ප්‍රකාශ කර ඇත.
------------------------------
Update - 5:12 PM
ඊශ්‍රායල හමුදාව විසින් ඊශ්‍රාලයට අයත් ප්‍රහාරක යානා 50ක් පමණ යොදාගනිමින් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි රහසිගත භූගත මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වෙයි.
මෙම බංකරය ඉරානයේ හිටපු උත්තරීතර නායකයා වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද්දක් බව ඊශ්‍රායලය පවසයි.
--------------------------
Update - 4:38 PM
කුවේට් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
---------------------------------
Update - 4:30 PM
ඉරානය පුරා අන්තර්ජාලය විසන්ධි වී සම්පූර්ණ දින හයක් (පැය 144ක්) ගතවී ඇති බව ලෝක අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන Netblocks පවසයි.
මේ වන විට මුළු ඉරානයටම 1% ක වැනි ඉතාම අඩු අන්තර්ජාල සබඳතාවක් පමණක් පවතින බව සඳහන් වෙයි.
--------------------------------------
Update - 4:08 PM
ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි තවත් නගර කිහිපයකට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.
---------------------------
Update - 3:45 PM
ලෝකයේ ප්‍රමුඛතම නෞකා ප්‍රවාහන සමාගමක් වන මර්ස්ක් (Maersk) ආයතනය ඔවුන්ගේ සේවාවන් දෙකක් තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
"ආරක්ෂක හේතූන් මත මැදපෙරදිග හරහා යන අපේ ප්‍රධාන නෞකා සේවාවන් දෙකක් තාවකාලිකව නවත්වන්න තීරණය කළා. ඒ අපේ සේවකයන්ගේ සහ නැව්වල ආරක්ෂාව වෙනුවෙන්" යන්න මර්ස්ක් සමාගමේ නිවේදනයේ සඳහන් කර තිබේ.
--------------------------
Update - 3:06 PM
බේරූට් නුවරට අමතරව, ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ දකුණු වෙරළබඩ නගරයක් වන සයිඩන් වෙතද ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වෙයි.
මෙම ප්‍රහාර හේතුවෙන් දකුණු ලෙබනනයේ වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාව ආරක්ෂිත ස්ථාන කරා පළා යමින් සිටින බවද වාර්තා වෙයි.
---------------------------------
Update - 3:00 PM
ඉරානය විසින් එල්ල කළ මිසයිල ඊශ්‍රායලයේ ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන බෙන් ගුරියන් (Ben Gurion) ගුවන් තොටුපළට පතිත වූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක පියවරක් ලෙස ඊශ්‍රායලයේ ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති අතර සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
-----------------------------
Update - 2:56 PM
ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ අගනුවර වන බේරූට් නුවර දකුණු තීරයේ පිහිටි ඩහියේ (Dahiyeh) ප්‍රදේශයට නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.
මෙම ප්‍රහාර මගින් තමන් ඉලක්ක කරන්නේ හිස්බුල්ලා සංවිධානයට අයත් යුද මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම් බවට ඊශ්‍රායලය පවසා තිබේ.
----------------------------
Update - 2:19 PM
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කිමේනි ඝාතනය කිරීම සහ ඉරානයට එරෙහිව අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා සංවිධානය කර ඇත.
-------------------------------
Update - 2:19 PM
බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ඉරානය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
----------------------
Update - 2:05 PM
කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ප්‍රංශයට අයත් නැව් 52ක් පර්සියානු ගල්ෆ් කලාපයේ සහ තවත් නැව් 8ක් රතු මුහුදේ සිරවී ඇති බව ප්‍රංශ ප්‍රවාහන අමාත්‍ය පිලිප් ටබරොට් (Philippe Tabarot) පවසයි.
----------------------------------
Update - 2:00 PM
ඉරානයේ මියගිය සංඛ්‍යාව 1,332ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් පසුගිය සෙනසුරාදා සිට ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 1,332ක් මියගොස් ඇති බව ඉරාන රතු කුරුස සංවිධානය වාර්තා කරයි.
----------------------------------
Update - 1:57 PM
ඉරානයේ ෂිරාස් (Shiraz) නගරයට අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
------------------------------------
Update - 1:31 PM
ඉරානයේ සිටින තම පුරවැසියන් ඉවත් කර ගැනීමට ඉන්දුනීසියාව පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එහි සිටින ඉන්දුනීසියානු ජාතිකයින් අද සිට එරටින් ඉවත් කර ගැනීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබේ.
--------------------------------
Update - 1:18 PM
සයිප්‍රස් දූපතේ ආරක්ෂාව සඳහා බ්‍රිතාන්‍යය ගුවන් සහ නාවික හමුදාව යොදවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කලාපයේ පවතින ආරක්ෂක තර්ජන පෙරදීම හදුනාගෙන ඒ සඳහා ජනවාරි පෙබරවාරි මාසවල සිටම බ්‍රිතාන්‍ය හමුදාව සයිප්‍රස් දූපතේ ස්ථානගත කර ඇති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී (David Lammy) පවසා ඇත.
-----------------------------
Update - 1:02 PM
ඕමානයට සුගියදා එල්ල වූ ප්‍රහාර හමුවේ ඕමානය සහ කටාර් රාජ්‍යය සමඟ ස්පාඤ්ඤය සැමවිටම සිටින බව එරට අගමැති පේද්‍රෝ සැන්චෙස් (Pedro Sanchez) ප්‍රකාශ කර තිබේ.
මෙම රටවල් දෙකට එල්ල වූ ප්‍රහාර සාධාරණීකරණය කළ නොහැකි බවත්, ඒ වෙනුවෙන් ස්පාඤ්ඤයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් අගමැතිවරයා පවසා ඇත.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව පවත්වාගෙන යන යුද්ධයට ස්පාඤ්ඤය දිගින් දිගටම විරුද්ධ වන බව පවසා තිබේ.
-------------------------------------
Update - 12:42 PM
දකුණු ලෙබනනයේදී හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල වී තිබේ.
දකුණු ලෙබනනයේ ඛියාම් (Khiyam) නගරය දෙසට එමින් තිබූ ඊශ්‍රායල හමුදා රථ පෙළකට තමන් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.
-------------------------------
Update - 12:36 PM
ඉරානයේ ෂිරාස් (Shiraz) නගරයට එල්ල වූ අමෙරිකානු ශ්‍රායල ප්‍රහාරවලින් හදිසි වෛද්‍ය සේවා නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.
-------------------------
Update - 12:06 PM
බේරූට් නුවර දකුණුදිග ප්‍රදේශයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බේරූට් අගනුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශයක් වන දහියේ (Dhahiyeh) ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
-------------------------------------
Update - 12:02 PM
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ සිවිල් වැසියන් ජීවත් වන ස්ථාන 3,600කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ඉරාන රතු කුරුස සංවිධානය පවසයි.
----------------------------
Update - 11:52 AM
රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට ඉන්දියාවට අමෙරිකාවෙන් අවසර ලබා දී ඇති බවට විදෙස් වාර්තා පවසයි.
රුසියාවට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක මධ්‍යයේ වුවද, රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම දිගටම කරගෙන යාම සඳහා අමෙරිකානු රජය විසින් ඉන්දියාවට විශේෂ අවසරයක් ලබා දී තිබේ.
-----------------------------------
Update - 11:50 AM
ජෝර්දානයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම ඉරාක සන්නද්ධ කණ්ඩායමක් භාර ගෙන ඇති බවට වාර්තා වෙයි.
ඉරාකයේ ක්‍රියාත්මක සරායා අව්ලියා අල්-දම් (Saraya Awliya al-Dam) නැමති සන්නද්ධ කණ්ඩායම ජෝර්දානයේ එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක වගකීම භාරගෙන තිබේ.
--------------------------------
Update - 11:36 AM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන ගුවන් සේවයක් වන එතිහාඩ් (Etihad) ගුවන් සේවය අබුඩාබි සහ තෝරාගත් ප්‍රධාන නගර කිහිපයක් අතර සීමිත ගුවන් ගමන් සංඛ්‍යාවක් අද සිට නැවත ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.
--------------------------------------
Update - 11:33 AM
ඉරානයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බවට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
---------------------------------
Update - 11:18 AM
ඉරානයේ ටෙහෙරාන් අගනුවරට එල්ල වූ ප්‍රහාරවලින් එරට හමුදාවට අයත් යුද හමුදා ඇකඩමියකට හානි සිදුව ඇති බව වාර්තා වේ.
-------------------------------
Update - 11:15 AM
ජෝර්දානයට නගරයට ඉහළින් පියාසරකළ ප්‍රහාරක ඩ්‍රෝන යානා කිහිපයක් එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙඩි තබා බිම හෙළා තිබේ.
------------------------------
Update - 11:10 AM
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉකුත් සෙනසුරාදා සිට ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ දරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
මියගිය දරුවන් සංඛ්‍යාව ඉරානයේ 181ක්, ලෙබනනයේ 7ක්, ඊශ්‍රායලයේ 3ක් සහ කුවේට් රාජ්‍යයේ එක් අයෙකු වශයෙන් සඳහන් වෙයි.
-------------------------------
Update - 11:09 AM
ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් දකුණු ලෙබනනයේ පිහිටි නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් නව ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
-----------------------------------
Update - 10:59 AM
සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන අන්දමට, සෞදි අරාබියේ අගනුවරවන රියාද් නුවරට නැගෙනහිර දෙසින් පැමිණි ප්‍රහාරක ඩ්‍රෝන යානා කිහිපයක් සෞදි ගුවන් ආරක්ෂක අංශ විසින් අහසේදීම සාර්ථකව මැඩපවත්වා විනාශ කර තිබේ.
--------------------------------
Update - 10:05 AM
අද (06) උදෑසන අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට එල්ලකළ නවතම ප්‍රහාරවලින් සාමාන්‍ය ජනතාව ජීවත් වන ප්‍රදේශවලට හානි සිදුව ඇති බව වාර්තා වේ.
--------------------------------------
Update - 10:03 AM
බහරේනයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
---------------------------------
Update - 09:49 AM
පසුගිය දිනවලට වඩා ඉතා ප්‍රබල මට්ටමේ බෝම්බ ප්‍රහාර මාලාවක් ඊයේ (05) රාත්‍රියේ ඉරානයේ ටෙහෙරාන් නුවරට එල්ල වී තිබේ.
----------------------
Update - 09:00 AM
ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල යුද්ධයේදී මේ දක්වා ඉරාන නැව් 30 කට වඩා වැඩි ප්‍රමාණයක් ගිල්වා දමා ඇති බව එක්සත් ජනපද හමුදාව පවසයි.
ඊට ගිනි ගනිමින් පවතින ඉරාන ඩ්‍රෝන් නෞකාවක් ද ඇතුළත් බව සඳහන්ය.
මේ අතර, යුද්ධයේ පළමු දිනයේ සිට ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාර 90% කින් අඩු වී ඇති බව මධ්‍යම විධානයේ අණදෙන ප්‍රධානියා ලෙස මැදපෙරදිග ඇමරිකානු බලකායන්ට නායකත්වය දෙන එක්සත් ජනපද අද්මිරාල් බ්‍රැඩ් කූපර් පැවසීය.
-------------------------------------------
Update - 08:50 AM
ඉන්දියානු පිරිපහදුකරුවන්ට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර ලබාදෙමින් අමෙරිකාව විසින් ඉන්දියාවට දින 30ක සහන කාලයක් ලබාදී තිබේ.
'2026 මාර්තු 5 වන දින සිට බලපැවැත්වෙන පරිදි රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්දියාව තුළ බෙදා හැරීමට සහ විකිණීමට අවසර දීම' යනුවෙන් අදාළ අවසරය අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් නිකුත් කර ඇත.
-------------------------------------------
Update - 08:46 AM
සෞදියේ මධ්‍යම අල්-කර්ජ් ආණ්ඩුකාර ප්‍රදේශයට නැගෙනහිරින් කෲස් මිසයිලයක් බිම හෙළූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
-------------------------------------------
Update - 07:05 AM
අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබේ.
ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත්, එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවත් අමෙරිකානු ජනධිපතිවරයා අනතුරු අඟවා ඇත.
-------------------------------------------
Update - 06:53 AM
ඉරානය සතු ඩ්‍රෝන සහ මිසයිල පද්ධති ඉලක්ක කර සෑම පැයකට වරක් අමෙරිකානු හමුදා විසින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඉරානයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ, සිය රට මේ වනවිට යුද්ධයේ ඊළඟ අදියර වෙත ගමන් කරමින් සිටින බවය.
-------------------------------------------
Update - 05:53 AM
ඉරානය විසින් බහරේනයේ මනමා අගනුවර හෝටල් දෙකක් සහ නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇති බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම ප්‍රහාරයෙන් දේපොළ හානි සිදුව තිබුණද ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ බව වාර්තා වෙයි.
