කෝටි දෙකක අල්ලස් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ලිපිකරු අත්අඩංගුවට

කෝටි දෙකක අල්ලස් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ලිපිකරු අත්අඩංගුවට

March 5, 2026   07:19 am

රුපියල් කෝටි දෙකකට අධික මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන  ලිපිකරුවෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපන ශාලාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

2018 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පුද්ගලික ආයතනයකින් ගොඩනැගිල්ලක් කූලී පදනම මත ලබාගැනීමෙන් පසු ඒ සඳහා අමාත්‍යාංශයෙන් චෙක්පත් මඟින් කුලී මුදල් ගෙවීමේදී අදාළ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා සැකකරු විසින් මෙලෙස අල්ලස් ඉල්ලා ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව කොළඹ 12 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධී දේපොළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුවෙකු වෙත ඇප ලබාගැනීමට අවශ්‍ය සහාය ලබාදීම සදහාත් ඔහුගේ පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට අවශ්‍ය සහය ලබාදීම සඳහාත් සැකකාර ව්‍යාපාරිකයා විසින් අදාළ අල්ලස් මුදල් ලබාගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.