සිය ස්ථාවරය වෙනස්වී නොමැති බව ස්පාඤ්ඤය කියයි

සිය ස්ථාවරය වෙනස්වී නොමැති බව ස්පාඤ්ඤය කියයි

March 5, 2026   12:38 am

මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ ස්ථාවරය වෙනස්වී නොමැති බව එරට විදේශ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බ්‍රස් පවසයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජනපද හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ස්පාඤ්ඤය එකඟ වූ බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට්ගේ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙසින් ඔහු මේ බව සඳහන් කළ බවය. 

එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් යුද්ධය සම්බන්ධයේ රජයේ ස්ථාවරය වෙනස්වී නොමැති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. (Update 01.51)

----------------------------------

ඉරානයට එරෙහිව සිදු කරන යුද්ධයේදී අමෙරිකාවට සිය සහයෝගය පළ කිරීමට ස්පාඤ්ඤය තීරණය කර ඇති බව එක්සත් ජනපදයේ මාධ්‍ය ලේකම්වරිය පවසයි. 

ඇය මේ බව ප්‍රකාශ කළේ, ධවල මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

ස්පාඤ්ඤය, තමන්ට අවශ්‍ය සහය ලබානොදෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (04) දැඩි ලෙස විවේචනය කළ පසුබිමක මෙය ප්‍රකාශවීමත් විශේෂත්වයකි. 

කෙසේ වෙතත් ස්පාඤ්ඤ අගමැතිවරයා ඊයේ (04) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, තමන් යුද්ධයට විරුද්ධ බවය.

එය රජයේ ස්ථාවරය බවත් යුක්‍රේන සහ ගාසා යුද්ධයේදී කටයුතු කළ ආකාරයට මෙම අවස්ථාවේදීත් කටයුතු කරන බව ඔහු පැවසීය.

ජනතාව ආරක්ෂා කරන ජාත්‍යන්තර නීතිය බිඳවැටීම ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් (Pedro Sánchez) ප්‍රකාශ කළේය. 

ලොව පවතින ගැටලු බෝම්බවලින් පමණ විසඳිය නොහැකි බව උපකල්පනය කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස ද ඔහු කීය. 

එමෙන්ම 2003 වසරේදී සිය රටෙහි සිටි පාලකයින් සිදු කළ වරද සිය රට නැවත නොකරනු ඇති බව ද පෙඩ්‍රෝ සැන්චෙස් අවධාරණය කළේය.

ලෝකය, යුරෝපය සහ ස්පාඤ්ඤය මීට පෙර මෙම තීරණාත්මක මොහොතට මුහුණ දී තිබේ.

2003 දී, වගකීම් විරහිත නායකයින් කිහිප දෙනෙකු අපව මැද පෙරදිග නීති විරෝධී යුද්ධයකට ඇද දැමූ අතර එය අනාරක්ෂිත බව සහ වේදනාව හැර අන් කිසිවක් නොලැබූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.