අපි වැනි රටක් මෙවැනි යුද්ධයක ගොඳුරක් බවට පත්විය යුතු නෑ - අමාත්‍ය නලින්ද
March 4, 2026 04:08 pm
කිසිදු විටකදී අප වැනි රටක් මෙවැනි යුද්ධයක අතරමැදිකරුවෙකු හෝ ගොඳුරක් වියයුතු නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (04) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් විමසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම ඔහු පැවසුවේ රටක් ලෙස මැදිහත් වියහැකි ඕනෑම ආකාරයකට එනම් ඉල්ලීමක් හැටියට හෝ ඕනෑම දෙයක් හැටියට මැදිහත් වී මෙම යුදගැටුම් නැවැත්වීම සඳහා බලාපොරොත්තු වන බවය.
"යුද්ධය නිසා ජීවිත අහිමි වූ සියලුදෙනා වෙනුවෙන් අපි කණගාටු වෙනවා. රාජ්‍ය නායකයින් රාජ්‍ය තාන්ත්‍රිකයින්, සාමාන්‍ය ජනතාව පාසල් දරු දැරියන් කුඩා දරුවන් කොයි පැත්තකින් හරි වින්දිතයින් බවට පත්වෙලා ඔවුන්ට ජීවිත නැති වෙලා තියෙනවා. ඒ හැමදේනාගැනම අපි කාණගාටුව ප්‍රකාශ කරනවා. අපේ ප්‍රාර්ථනය මේ යුද ගැටුම් ඉක්මනටම අවසන් වේවා කියලා. ගැටුම්වලට මැදිහත්වන සියලු පාර්ශවයන් සාකච්ඡා මාර්ගයෙන් මේ ගැටලු විසඳාගනීවියැයි අපි විශ්වාස කරනවා. "
"දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ වගේ යුද ගැටුම් නවත්වන්න පිහිටවපු ආයතන තියෙනවා. අපි ඒ ජාත්‍යන්තර ආයතනවල සාමාජිකයින්. ඒ ආයතවලටත් වගකීමක් තියෙනවා උපරිම ශක්ති ප්‍රමාණයෙන් මේ යුද ගැටුම් නතරකරන ඒක. අලුත් තාක්ෂණය සහ මේ සියලු දේ එක්ක, එක භූගෝලිය සීමාවක විතරක් සීමාවෙන්නේ නෑ. ඒක කවදා කොතනකට වර්ධනය වෙයිද කියලා අපිට හිතාගන්න බෑ. රටක් විදියට අපිට මැදිහත් වියහැකි ඕනෑම ආකාරයකට ඉල්ලීමක් හැටියට ඕනෑම දෙයක් හැටියට මැදිහත් වෙලා මේ ගැටුම් නතර කරන්න අපි බලාපොරොත්තුව."
ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අවධානමට ලක්වෙලා ඉන්නවා. ලෝකෙම ආර්ථිකය තර්ජනයකට ලක්වෙලා තියෙනවා. කවුරු මේක පටන් ගත්තත් මේක දැන් කොතරම් දුරකට වර්ධනය වෙලා තිබුනත් අපි බලාපොරොත්තු වෙන්නේ ඉක්මට අවසන් වෙවි කියලා.
ප්රශ්නය - අධිරාජ්‍යවාදයට යටත් වෙලාදෝ කියලා හිතෙනවා. අමෙරිකාවට බයයිද? ඉරාන තානාපතිවරයාත් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රකාශ කරන්න කියලා තිබුණා....?
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වෙනස් වෙලාද?
"යුද්ධය කවදාවත් ලෝකයට ප්‍රගතියක් ගෙනත්දීලා නෑ. දේශපාලන ඕනෑ එපාකම් මැද්දේ වින්දිතයන් බවට පත් වුණේ සාමාන්‍ය ජනතාව. යුද්ධයක එක පැත්තක් ගන්න කවුරුත් උත්සහා කරන්නේ නෑ. එය බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ ස්ථාවරය තමන්ගේ ස්ථාවරයට සමපාත නොවෙන්න පුළුවන්. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. රටක් හැටියට අපි ඉන්නේ, ඒ කියන්නේ අපි වගේ රටක් මේ යුද්ධයේ අතරමැදිකරුවන් එහෙමත් නැතිනම් යුද්ධයේ ගොදුරු බවට පත් විය යුතු නෑ. ඒ නිසා මේ යුද ගැටුම් වළක්වා ගැනීම සඳහා අපේ පැත්තෙන් වචනයෙන්ද ක්‍රියාවෙන් ද කරන්න පුළුවන් හැමදේම කරමින් ඉන්නවා."
