මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්
March 3, 2026 06:16 am
UPDATE - 08.15 A.M
යුදමය වාතාවරණය හමුවේ පසුගිය පැය 24 තුළ ඉරානයේ සිවිල් වැසියන් 85දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම හමුදා නිලධාරීන් 11දෙනෙකු පමණ මියගොස් ඇති බව ද සඳහන්.
------------------------------------
UPDATE - 07.55 A.M
"ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන තවත් මාස කිහිපයකින් ඕනෑම ප්‍රහාරයකින් ආරක්ෂා විය හැකි (ප්‍රතිශක්තිකරණ) මට්ටමකට පත්වනු ඇතැයි'' නෙතන්යාහු පවසයි.
-----------------------------------
UPDATE - 07.50 A.M
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය ගැටුම් හේතුවෙන්, අමෙරිකාවේ පෙට්‍රල් මිල පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් තිබේ.
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට මේ වන විට බාධා එල්ල වී ඇත.
මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 5% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර, එය අමෙරිකානු පාරිභෝගිකයින්ට සෘජුවම බලපා තිබේ.
විශ්ලේෂකයින් අනාවැකි පල කරන්නේ පවතින අර්බුදය හමුවේ මෙම සතිය තුළ පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 3.25 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බවය.
----------------------------------
UPDATE - 07.26 A.M
රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වන බව ට්‍රම්ප් සඳහන් කර ඇති බව වාර්තා වේ.
------------------------------
UPDATE - 07.28 A.M
මීට සුළු වේලාවකට පෙර දකුණු බිරූට් ප්‍රදේශයයේ ඩහියා හි, හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධිත දේශීය නාලිකාවක් වන අල් මනාර් රූපවාහිනිය පිහිටා ඇති ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම ලෙබනනයට සහ සිරියානු දේශසීමාවට එල්ල වී ඇති ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 52 දෙනෙකු මිය ගොස්, 154 දෙනෙකු තුවාල ලබා ඇති අතර දහස් ගණනක් අවතැන් වී ඇති බවද සඳහන්.
------------------------------
UPDATE - 07.15 A.M
රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකක් මඟින් ප්‍රහාර එල්ල කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
------------------------------
UPDATE - 07.00 A.M
ඉරාන පාසලකට බෝම්බ හෙලීම මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
"පාසල් සිසුන් ඝාතනය කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පාසල්වලට ලබා දී ඇති ආරක්ෂාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි," යනුවෙන් ඔවුන්ගේ නිවේදනයේ සඳහන්.
අදාළ බෝම්බ ප්‍රහාරයෙන් 160කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පාසල් සිසුන් වේ.
-----------------------------------
UPDATE - 06.45 A.M
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහර දෙන බවට ද අනතුරු අඟවා තිබේ.
-----------------------------------
UPDATE - 06.25 A.M
සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
