මැදපෙරදිග ගැටුම් හමුවේ ගුවන්ගමන් පිළිබඳ දැනුම්දීමක්

මැදපෙරදිග ගැටුම් හමුවේ ගුවන්ගමන් පිළිබඳ දැනුම්දීමක්

February 28, 2026   04:36 pm

මැදපෙරදිග සහ ඒ අවට කලාපයේ මේ වනවිට ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් එම ගුවන් අවකාශ වසා දැමීම හේතුකොට ගෙන උද්ගතව ඇති තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාවෙන් පිටත්වන සහ මෙරටට පැමිණෙන ගුවන් යානා සහ මගීන් වෙනුවෙන් පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය ක්‍රියාත්මක කර තිබේ. 

ඒ අනුව එම අධිකාරිය දැනුම් දෙන්නේ, එම රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ භාවිත කරමින් ක්‍රියාත්මක වන ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ ෆිට්ස් ගුවන් සමාගම තීරණය කර ඇති බැවින් එම ගමනාන්තය බලා ගමන් කිරීමට සූදානමින් සිටින ගුවන් මගීන්හට ගුවන්තොටුපොළ බලා පැමිණීමට පෙර, තම ගුවන් ගමන් නියෝජිතයා හෝ ගුවන් සමාගම සමග සම්බන්ධ වීමෙන් ගුවන් ගමන් පිළිබඳව දැනුවත් වන ලෙසය.  

අවශ්‍යතා මත ගුවන් ගමන් යොමුකිරීමට සිදුවුවහොත් මත්තල ගුවන්තොටුපොළ ද ඒ සඳහා සූදානම් කර ඇති අතර මෙම තත්ත්වය හමුවේ අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය ජනතාවට දැනුම්දෙයි.