හෝමූස් සමුද්‍ර සන්දිය හරහා ඉන්ධන නෞකා ගමනාගමන කටයුතු අත්හිටුවයි

හෝමූස් සමුද්‍ර සන්දිය හරහා ඉන්ධන නෞකා ගමනාගමන කටයුතු අත්හිටුවයි

February 28, 2026   04:18 pm

UPDATE - 12. 31 ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ විප්ලවවාදී ආරක්ෂක අණදෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික නිලධාරීන් මිය ගිය බවයි.

-------------------

UPDATE - 11. 41 එල්ලවූ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 201 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 747ක් තුවාල ලබා ඇති බව ඉරාන රතු අඩසඳ සංගමය පවසයි.

-------------------

UPDATE - 11. 40 රාමසාන් සමයේදී සියලුම මුස්ලිම් පල්ලිවල රාත්‍රී යාඥාව වන තාරාවීහ් යාඥාවන් නැවත දැනුම් දෙන තුරු අවලංගු කරන බව කුවේට්හි ඉස්ලාමීය කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

-------------------

UPDATE - 11. 29 කටාර් රාජ්‍යය නැවත දැනුම්දෙන තුරු පොදු උත්සව නවත්වා තිබේ. ඒ අනුව එරට හොටල් සහ සංචාරක ස්ථානවල සියලුම පොදු උත්සව, රැස්වීම් සහ විනෝදාස්වාදක ක්‍රියාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇත.

-------------------

UPDATE - 11. 04 හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට නියමිත බවට ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව පර්සියානු ගල්ෆ් සහ ඕමාන් ගල්ෆ් අතර ඉරානයේ දකුණේ පිහිටා ඇති උපායමාර්ගික හෝර්මුස් සමුද්‍ර සන්දිය වසා දැමීමට පියවර ගන්නා බවය.

ඒ අනුව කිසිදු නෞකාවකට සමුද්‍ර සන්දිය හරහා යාමට අවසර නොලැබෙන බවද ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදි ආරක්ෂක බලකායට අයත් තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

-------------------

UPDATE - 11. 00 ඉරාන ප්‍රති ප්‍රහාර හමුවේ සිය රටට එල්ල වූ ඩ්‍රෝන යානා 49ක් සහ බැලස්ටික් මිසයිල 13ක් සාර්ථකව මර්දනය කළ බව ජොර්දානය පවසයි. මර්දනය කිරීම් හමුවේ යම් යම් හානි සිදුව ඇතත් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත් ජෝර්දානය පවසයි.

-------------------

UPDATE - 10. 56 කුවේට් රෝහල්වලට තුවාල ලැබූවන් 12 දෙනෙකු ඇතුළත් කර ඇති බව රාජ්‍ය පුවත් ඒජන්සිය පවසයි.

-------------------

UPDATE - 10. 50 දකුණු ඉරානයේ ලැමර්ඩ් නගරයේ ක්‍රීඩා ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් 15 දෙනෙකු මිය ගිය බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

-------------------

UPDATE - 10. 42 ඊශ්‍රායල හමුදාව ඉරානයට නව ගුවන් ප්‍රහාර රැල්ලක් නිවේදනය කර තිබේ. ඒ අනුව මධ්‍යම ඉරානයේ මිසයිල දියත් කිරීමේ ස්ථාන සහ ආරක්ෂක පද්ධතිවලට පහර දෙන බව පවසමින් ඉරානයට එරෙහිව මෙම ප්‍රහාර මාලාව නිවේදනය කර ඇත.

-------------------

UPDATE - 10. 30 ගල්ෆ් කලාපයට මග හරිනනැයි අමෙරිකාව වානිජ නැව්වලින් ඉල්ලීමක් කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය, ගල්ෆ්, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද "සැලකිය යුතු හමුදා ක්‍රියාකාරකම්" වලට භාජනය වී ඇති බැවින් මෙම ප්‍රදේශයෙන් යාත්‍රා ඉවත් කර තබා ගැනීම නිර්දේශ කරන බව අමෙරිකානු ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත. 

-------------------

UPDATE - 10. 00 ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉරානයට එල්ල කළ අමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාර හෙළා දැක තිබේ. එමෙන්ම ලෙබනන් කණ්ඩායම ඉරානය සමග සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති බවත් සඳහන් වේ.

-----------------------------

UPDATE - 09. 30 ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ගණන 85 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

-----------------------------
UPDATE - 09. 15 ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු හමුදා නිලධාරීන් 200 ඝාතනය වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව එක්සත් ජනපද ආරක්ෂක අංශය පවසයි. ඔවුන් පැවසුවේ ඉරාන විප්ලවාදී ආරක්ෂක හමුදාව මගින් පළකර ඇති මෙම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවය.

-----------------------------

UPDATE - 08. 53 මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සිය ආරක්ෂක මණ්ඩලය සමග සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ නමුත් එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

-----------------------------

UPDATE - 08. 27 ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල සහ ඇමරිකානු ප්‍රහාර මෙන්ම ඉරානයේ පළිගැනීමේ ප්‍රහාර හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් පවසා තිබේ.

හමුදා ප්‍රහාර ආරම්භ වීමට පැය කිහිපයකට පෙර විසඳුමක් සොයමින් සිටි සාකච්ඡා මේසයට නැවත පැමිණෙන ලෙස ටර්ක් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

-----------------------------

UPDATE - 08. 23 නේටෝ සංවිධානය ඉරානයේ සහ කලාපයේ මතුව ඇති තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව නේටෝ ප්‍රකාශිකා ඇලිසන් හාර්ට් පවසයි.

-----------------------------

UPDATE - 08. 21 ඉරාන ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු බවත් තවදුරටත් ගැටුම් උත්සන්න වීම වළක්වා සංවාදය නැවත ආරම්භ කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව චීනය පවසයි.

-----------------------------

UPDATE - 08. 15 කලාපයේ මතුව ඇති තත්ත්වයන් පිළිබඳව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාර සම්බන්ධව දැඩි කනස්සල්ල පළ කර ඇති අතර වහාම සටන් විරාමයක්ද ඉල්ලා තිබේ.

-----------------------------

UPDATE - 08. 13  ඉරානයේ නිරිත දිග ගොටසේ ෂිරාස් හී පිපිරීම් කිහිපයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

UPDATE - 08. 01 තවදුරටත් යුද ගැටුම් උත්සන්න වීම හෙළා දකිමින් තුර්කි විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සියලු පාර්ශ්වයන්ගෙන් යුද ගැටුම් වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ.

එමෙන්ම මෙම යුද ගැටුම් නැවැත්වීම සඳහා මැදිහත්වීමට සහාය දීමට සිය රට සූදානම් බවද  තුර්කි විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත.

-----------------------------

UPDATE - 07. 57 සෞදි රාජ්‍යයේ නැගෙනහිර කලාපනයේ රියාද් ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රහාර එල්ල කළ බවත් එම ප්‍රහාර ව්‍යර්ථ කිරීමට කටයුතු කළ බවත් සෞදි විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාර කිසිදු සාධාරණීකරණයක් කළ නොහැකි බවත් සෞදි අරාබි විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත.

-----------------------------

UPDATE - 07. 53 කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නායකයින් විසින් ඉරානය එල්ල කළ ප්‍රහාර හෙළා දැක තිබේ. 

ඉරාන මිසයිල ප්‍රහාර මලින් කටාර්, එක්සත් අරාබි රාජ්‍යය සහ අනෙකුත් අරාබි රටවල් ඉලක්ක කර ගැනීම හෙළා දකින බව සඳහන් කරමින් එම රටවල් දෙක නිවේදනයක් නිකුත් කර තිබේ.

-----------------------------

UPDATE - 07. 50 ඉරානයේ රුසියානු තානාපති කාර්යාලය රුසියානු පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් දන්වා ඇත්තේ ආර්මේනියාව හෝ අසර්බයිජානය හරහා ඉරානයෙන් පිටව යන ලෙසය. මෙම රටවල් දෙක වයඹ දෙසින් ඉරානයට මායිම්ව පිහිටා ඇත.

-----------------------------

UPDATE - 07. 45 ලෙබනනයේ අමෙරිකානු තානාපති කාර්යාලය X සටහනක් තබමින් තම පුරවැසියන්ට ඉරානයෙන් පිටව යන ලෙස දන්වා තිබේ. 

-----------------------------

UPDATE - 07. 22 ඉරානයේ ගිනිකොණදිග වරායක් වන චබහාර්හි පිපිරීමක් වාර්තා වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි. 

-----------------------------

UPDATE - 07. 20 උතුරු ඉරාකයේ කුර්දි කාලාපයේ පිහිටි අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සැලසුම් කළ ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කර තිබේ.

-----------------------------

UPDATE - 07. 19 කලාපයේ ප්‍රහාර මධ්‍යයේ ඇතැම් තෙල් සහ වෙළෙඳ සමාගම් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමන කටයුතු අත්හිටුවා තිබේ.

------------------------

UPDATE - 07. 18 මැදපෙරදිග මතුව ඇති තත්ත්වය හමුවේ ඕමානය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබේ.

සටන් විරාමයක් පැනවීමට සහ ජාත්‍යන්තර ප්‍රජාව ජාත්‍යන්තර නීතියට සහාය දැක්වීම සඳහා පැහැදිලි ස්ථාවරයක් ලබා ගැනීමට මෙම රැස්වීම කැඳවන ලෙස ඕමානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
-----------------------

UPDATE - 06. 22 එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් එල්ල වූ නව මිසයිල රැල්ලක් වළක්වා ගත් බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

----------------------

UPDATE - 06. 18 ඉරානයේ බාලිකා පාසලට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍යක් වන  IRNA මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරය සිදුවන විට සිසුවියන් 170ක් එම ස්ථානයේ සිට ඇති බවත් ගලවා ගැනීම් මෙහෙයුම් තවමත් සිදුවෙනු ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර ඇත. 

----------------------

UPDATE - 06. 14 ඉරානයෙන් තවත් මිසයිල රැල්ලක් පැමිණිය හැකි බවට ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායල සහ එක්සත් ජනපදය ඉරානයට එරෙහිව ඒකාබද්ධව ප්‍රහාර දියත් කිරීමෙන් පසු ඊශ්‍රායලය විටින් විට එරට ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර ඇති තිබේ. 

මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ 6වන වතාවටය.

----------------------

UPDATE - 06. 10 බහරේනය පුරා සයිරන් හඬ නංවා ඇතැයි බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

----------------------

UPDATE - 06.02 රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර එහිදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙළා දැක තිබේ. 

----------------------

UPDATE - 05.58  ඩුබායි ගුවන්තොටුපොළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු එම ගුවන් ගමන් අත්හිටුවා ඇත. 

----------------------

UPDATE - 05.57 කටාර් අගනුවර තුළ වරින් වර පිපිරීම් ශබ්ද ඇසෙමින් පවතින බව වාර්තා වේ.

කටාර් සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන් දෙසට මිසයිල කිහිපයක් එල්ල කිරීමෙන් පසු මෙම නවතම පිපිරීම් මාලාව සිදුව ඇත.

කටාර් ආරක්ෂක අංශ විසින් ඉරාන මිසයිලවල බිඳ හෙළීමට අඛණ්ඩව උත්සාහ ගනිමින් සිටින බවත් වාර්තා වේ.

----------------------------------

UPDATE - 05.48 ඊශ්‍රායලය පුරා මහජන රැස්වීම් තහනම් කර ඇති අතර පාසල් සහ සේවා ස්ථාන වසා දමා ඇතැයි වාර්තා වේ.

රෝහල්, රෝගීන් භූගත පහසුකම් වෙත ගෙන ගොස් ඇති අතර ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව මහජනතාවට අනතුරු අඟවමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

----------------------------------

UPDATE - 05.43 තම භූමිය ඉලක්ක කරගත් ප්‍රහාර කිහිපයක් සාර්ථකව මැඩපැවැත්වූ බවත්, තර්ජන හඳුනාගත් වහාම සහ පූර්ව අනුමත ආරක්ෂක සැලැස්මට අනුකූලව කටයුතු කළ බවත් කටාර් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

----------------------------------

UPDATE - 05.41 තම රට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය යටතේ තම ආරක්ෂාව සඳහා සියලු හමුදා ක්‍රියාමාර්ගයන් භාවිත කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

සෞදි අරාබිය, එක්සත් ආරබි එමීර් රාජ්‍ය, කටාර්, කුවේට්, බහරේන් සහ ඉරාකය ඇතුළු රටවල සගයන් සමග තමන් සාකච්ඡා කළ බවත් ඉරානයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ස්වයං ආරක්ෂක නීත්‍යානුකූල අයිතිය යටතේ සියලු ක්‍රමයන් භාවිත කරන බවද ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

-----------------------------------

UPDATE - 05.34  ඉරානය සිය පළමු මහා පරිමාණ ඩ්‍රෝන ප්‍රහාරය ඊශ්‍රායලයට එල්ල කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රහාරක ඩ්‍රෝන යානා රැසක් භාවිත කරමින් ඔවුන් ප්‍රති ප්‍රහාර එල්ල කර ඇතැයිද සඳහන් වේ.

-----------------------------------

UPDATE - 05.29 ඉරාන මිසයිල ප්‍රහාරයකින් පසු එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණියේ මූලස්ථානය පිහිටා ඇති අසල්වැසි ප්‍රදේශයකින් ජනතාව ඉවත් කරමින් සිටින බව බහරේනය පවසා තිබේ.

ඒ අනුව මේ වන විටත් එම ඉවත් කිරීම් කටයුතු ආරම්භ කර ඇතැයිද එරට අභ්‍යන්තර අමාත්‍යාංශය සඳහන් කර ඇත.

-----------------------------------

UPDATE - 05.20 ඉරානයේ බාලිකා පාසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යක් වන IRNA පුවත් සේවය වාර්තා කර තිබේ.

-----------------------------------

UPDATE - 05.15 ඉරානයට ගුවනින් සහ මුහුදින් පුළුල් ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදුකරන බව අමෙරිකා එක්සත් ජනපද නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

-----------------------------------

UPDATE - 05.10 ඉරානයට එරෙහි අනවශ්‍ය ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින බව පාකිස්තාන විදේශ අමාත්‍ය ඉශාක් ඩාර් ප්‍රකාශ කර තිබේ.

අර්බුදයට සාමකාමී සාකච්ඡාමය විසඳුමක් ලබා ගැනීම සඳහා රාජ්‍ය ත්‍රාන්ත්‍රික කටයුතු යළි ආරම්භ කළ යුතු බව ඔහු පවසා ඇත.
-----------------------------------

UPDATE - 04.58 මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවීමට සියලු ගුවන් සමාගම් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව තත්ත්වය සමනය වන තෙක් මැදපෙරදිග වෙත ගමන් ගන්නා සියලු ගුවන් ගමන් මෙලෙස අත්හිටුවා ඇත.

-----------------------------------

UPDATE - 04.56  බාලිකා පාසලක් ඉලක්ක කර එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් එම පාසලේ සිසුවියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන බලධාරින් පවසයි.

-----------------------------------

UPDATE - 04.51  -ඉරානයෙන් ඊශ්‍රායලය වෙත නැවතත් ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ අනුව ඉරානය විසින් ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම මිසයිල විනාශ කිරීමටද ඊශ්‍රායලය කටයුතු කර ඇතැයිද වාර්තා වේ.

එමෙන්ම ඊශ්‍රායලය පුරා සයිරන් නාද කර ඇති බවත් සඳහන්ය.

-----------------------------------

UPDATE - 04.40  -  ඉරාන ජාතික ආරක්ෂිත කවුන්සිලය ටෙහෙරාන් අගනුවර පදිංචිව සිටින පදිචිකරුවන්ට ඉන් ඉවත්ව යන ලෙස දැනුම් දී තිබේ.

සන්සුන්ව සහ ආරක්ෂිතව සිටින ලෙස දැනුම්දී ඇති අතර හැකිනම් පවතින තත්ත්වය හමුවේ වෙනත් නගරයකට ගමන් කරන ලෙසත් ආරක්ෂිත කවුන්සිලය දන්වා තිබේ.

-----------------------------------

UPDATE - 04.30 මැදපෙරදිග රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ භාවිතා කරන ක්‍රියාත්මක වන ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සහ ෆිට්ස් ගුවන් සමාගම් තීරණය කර තිබේ. 

-----------------------------------

UPDATE - 04.28 කටාර් අගනුවර සහ වයඹ දිග ඉරානයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ.

----------------------------------------

UPDATE - 04.25 ඉරානයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සයිඩ් අබ්දුල් රහීම්, සහ ජනාධිපති මසූර් පෙසෙස්කියන් ඇතුළු ජ්‍යෙෂඨ ඉරාන පුද්ගලයින් පිරිසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

----------------------------------------

UPDATE - 04.21 - ඊශ්‍රායලයේ ටෙල්අවිවී ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය ගුවන් සේවය මාර්තු 03 වන දින දක්වා ටෙල්අවිවී සහ බහරේන් වෙත සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.
මැදපෙරදිග සියලුම ගුවන්ගමන් අත්හිටුවීමට Air India තීරණයක්

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට එයාර් ඉන්දියා තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩල ආරක්ෂාව පවත්වා ගැනීමට මෙම පියවර ගත් බවය.  

මේ අතර නැවත දැනුම්දෙන තුරු ඊශ්‍රායලය තුළ අත්‍යවශ්‍ය නොවන සහ අනවහ්‍ය ගමන්වලින් වැළකී සිටින ලෙස ඉන්දියාව සිය ජාතිකයින්ට දැනුම් දී තිබේ.

ඉරානයේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවයි

ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපද ඉරානයට එල්ල කරන ප්‍රහාර මධ්‍යයේ මේ වන විට එරට අන්තර්ජාල සේවාව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන NetBlocksට අනුව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය පූර්ණ වශයෙන් අන්තර්ජාල සේවාව අවහිර කර ඇති බවය.

ඉරානයේ අන්තර්ජාල සේවාව වසා දැමීම මින් පෙරද සිදුවූ අතර ඒ රට පුරා පැතිර ගිය දැවැන්ත විරෝධතා අතරතුරය.